Spread the love

නිමල් රාජපක්ෂ රාජපක්ස

ජාතීන් අතර සුහදත්වය වැඩි දියුණු කර ගනිමින් එකිනෙකාගේ ජාතික ආගමික සංස්කෘතීන්ට ගරු කිරීමේ හා ද්වී භාෂා හැකියාවෙන් යුතු තරුණ පිරිසක් බිහි කිරීමේ අමුණින් යුතුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන භාෂා පාලම තරුණ හුවමාරු වැඩසටහනෙහි තවත් අදියරක සමාරම්භක උත්සවය ඊයේ ( 07) පස්වරුවේ මොරටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තරුණ තරුණියන් 20 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ජීවත්වන තරුණ තරුණියන් 20 දෙනෙකු අද ආරම්භ වු භාෂා පාලම වැඩසටහනට සම්බන්ධ කර ගෙන තිබු අතර, ඒ අනුව කින්නියා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තරුණ තරුණියන් සැප්තැම්බර් මස 07 වන දින සිට දින හතරක් මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ජීවත්වන තරුණ තරුණියන්ගේ නිවෙස්වල නවාතැන් ගනිමින් ඔවුනොවුන්ගේ සංස්කෘතීන් හා භාෂා හුවමාරු කර ගැනීමට නියමිතය.

එම දින හතර තුළ කින්නියා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තරුණ තරුණියන් මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි පෞරාණික, ආගමික හා ස්වභාව සෞන්දර්යාත්මක ස්ථාන නැරඹීමට ද එක්වීමට ද නියමිතව තිබේ.

ඊට අමතරව මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දෙකෙහිම තරුණ තරුණියන්ට අද (08) දිනය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නිතිඥ හර්ෂණ නානායක්කාර මහතා හමුවීමට ද අවස්ථාව ලබාදී ඇත.

මොරටුව සහ කින්නියා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ අතර භාෂා පාලම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සව අවස්ථාවට මොරටුව ප්‍රාදේශිය ලේකම් සමන් ප්‍රසන්න කිරිවත්තුඩුව, කොළඹ දිස්ත්‍රික් ජාතික ඒකාබද්ධතා නිලධාරී රෝහිණි දසනායක, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශයේ පරිපාලන නිලධාරී ඒ. ඒ. එස් .නදිමියා යන මහත්ම මහත්මීන් ඇතුළු කින්නියා සහ මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දෙකෙහි තරුණ තරුණියක් එක්ව සිටියහ.