Spread the love

නිමල් රාජපක්ෂ-

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ඉහළ තාක්ෂණයෙන් හා නවීන ආරක්ෂිත මුද්‍රණ (Security printing) හැකියාවන්ගෙන් සවිබල ගැන්වීමටත්, වසර 50කට වඩා පැරණි යන්ත්‍ර සූත්‍ර ක්‍රමයෙන් ඉවත් කර නව උපකරණ මිලදී ගැනීමටත් සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සැප්තැම්බර් 08 වන දින මේ බව සඳහන් කළා ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ දැනට ස්ථිර සේවකයන් 445 දෙනෙකු සහ කොන්ත්‍රාත් සේවකයන් 21 දෙනෙකු සේවය කරනවා.

පාසල් පෙළපොත්, පළාත් ප්‍රශ්න පත්‍ර, ලොතරැයි, රහස් ලේඛන, අභ්‍යාස පොත්, මැතිවරණ මුද්‍රණ කටයුතු ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වාණිජ මුද්‍රණ කටයුතු රැසක් සංස්ථාව මගින් ඉටු කරනු ලබනවා.

ඒ වගේම වෙළඳපොළ මිල හා ප්‍රමිතිය පාලනය කිරීම, විශ්වාසදායී ආරක්ෂිත මුද්‍රණ ඒකකයක අවශ්‍යතාව සපුරාලීම, රජයේ මුද්‍රණ පිරිවැය අවම කිරීම සහ රජයට ප්‍රතිලාභ (රාජ්‍ය භාගය) ලබා දීම ඇතුළු වාසිදායක තත්ත්වයන් රැසක් මෙම සංස්ථාව මගින් අත්කර දෙනවා.”

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා ඕනෑම ආයතනයකට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් මුද්‍රණ කටයුතු කරගත හැකි බව ද පැවසූ අග්‍රාමාත්‍යතුමිය, රජයේ මූලික අවධානය යොමුව ඇත්තේ පවතින සංස්ථාවේ කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීමට බව ද අවධාරණය කළා ය.