නිමල් රාජපක්ෂ-
මෙරට රෝහල් පද්ධතියේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන කේන්ද්‍ර කර ගනිමින් මහජන ඇමතුම් පද්ධති නිවේදන කටයුතු පිළිබඳ වගකිවයුතු කාර්ය මණ්ඩල නිලධාරීන් පුහුණු කිරීමේ “Training of Responsible Officers on Public Address (PA) System Announcements in Hospitals and Health Institutions – 2026” තෙදින වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ශ්‍රවණාගාරයේ දී අද (08) ආරම්භ විය.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්, ජී.එම්. ජනක කිත්සිරි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අතිරේක ලේකම් (පාලන) 3 හර්ෂනී සිරිනාම මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් මෙම පුහුණු වැඩසටහනේ සමාරම්භය සනිටුහන් විය.
රෝහල්වල මහජන ඇමතුම් පද්ධතීන් වඩාත් විධිමත් හා ඵලදායී ලෙස මෙහෙයවමින් රෝහල් කාර්ය මණ්ඩලයට හා ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමට රෝහල් කරා පැමිණෙන ජනතාවට සෞඛ්‍ය පණිවුඩ හා නිවේදන වඩා නිවැරදිව, රසවත් මෙන්ම හරවත් අයුරින් ලබාදීම තහවුරු කිරීම මෙම පුහුණු වැඩසටහනේ අරමුණ සහ බලාපොරොත්තුවයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්රවෘත්ති හා ප්‍රචාරණ අංශය, අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබන දින 03 ක මෙම විශේෂ පුහුණු වැඩසටහනට දිවයිනේ ප්‍රධාන රෝහල් සහ සෞඛ්‍ය ආයතන 20 ක් සම්බන්ධ කර ගැනීමට කටයුතු යොදා තිබුණි.
ඒ අනුව එක් රෝහලකින් අවම වශයෙන් ක්ෂේත්රයේ නිරත නිලධාරීන් 50 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් පැවැති මෙම පුහුණු වැඩසටහනට විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සහකාරවරුන්, කාර්යාල කාර්ය සහායකයින්, සෞඛ්‍ය කාර්ය සහායකයින්, දුරකථන ක්‍රියාකරුවන් සහ පිළිගැනීමේ නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීන් 10 ක් නියෝජනය කරමින් කාර්ය මණ්ඩල එක්ව සිටීම ද විශේෂත්වයකි.
ප්‍රවීණ මාධ්‍යවේදීන්, සෞඛ්‍ය විශේෂඥයින් සහ ශබ්ද ඉංජිනේරුවන් ඇතුළු ක්ෂේත්රයේ ප්‍රවීණ දේශක මඩුල්ලක් විසින් මෙහිදී සහභාගිවන්නන් වෙත න්‍යායික දැනුම ලබා දීමට නියමිතය. ඊට අමතරව, රාජ්‍ය සහ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන පහක් කේන්ද්‍ර කරගනිමින් ප්‍රායෝගික පුහුණුව ලබා දීමටද කටයුතු සූදානම් කර ඇත.
