නිමල් රාජපක්ෂ
නව නේවාසිකාගාර ව්‍යාපෘතිය තුළින් විශ්වවිද්‍යාල සිසුන් 16000කට නේවාසික පහසුකම් සැලසෙන බවත්, නේවාසිකාගාර වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය අද (09) පාර්ලිමේන්තුවේදි මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2025 වසර සඳහා නේවාසිකාගාර ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 376 ක් සහ 2026 නේවාසිකාගාර ප්‍රතිසංස්කරණය උදෙසා රුපියල් මිලියන 453ක් වෙන් කර තිබෙනවා. අධ්‍යාපනය උසස් අධ්‍යාපන සහ වෘත්තියේ අධ්‍යාපන අමාත්‍යාංශය 2026 වසර සඳහා නේවාසිකාගාර ප්‍රතිසංස්කරණ වෙනුවෙන් රුපියල් මිලියන 400යි, 2026 නව නේවාසිකාගාර ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 1500යි වෙන් කළා, මේ සියලුම මුදල් දේශීය ප්‍රතිපාදන අපි ණය වෙලා නෙවෙයි මේ නේවාසිකාගාර ව්‍යාපෘතිය කරන්නේ. ඒ වගේම 2025 හා 2026 අයවැය ලේඛන මගින් විදේශ ණය යටතේ නව නේවාසිකාගාර ඉදි කිරීම උදෙසා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණයක් තිබෙනවා. ඒක තමයි විදෙස් ණය යටතේ වයඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය, සෞදි සංවර්ධන ණය යටතේ නේවාසිකාගාර සඳහා 2026 රුපියල් මිලියන 321ක් ලබා දී තිබෙනවා.
සබරගමුව වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය සෞදි ණය යටතේ නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 331ක් වෙන් කර තියෙනවා.
නේවාසිකාගාර නවීකරණය සඳහා වයඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 10.46 වෙන් කරලා තියෙනවා. 2025 වසර සඳහා රුපියල් මිලියන 466ක් සහ 2026 සඳහා රුපියල් මිලියන 662.46ක් වෙන් කර තියෙනවා.
නව නේවාසිකාගාර 55 ක් 2025,2026 වර්ෂවල සහ ඉදිරියට හදන්න නියමිතයි.
නේවාසිකාගාර පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන ශිෂ්‍යයන් ප්‍රමාණය 16000ක්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් සඳහා සමස්ත නේවාසිකාගාර ප්‍රතිපත්තියක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සකස් කරමින් පවතිනවා. එයට පෞද්ගලික නේවාසිකාගාර සම්බන්ධ මාර්ගෝපදේශ ද ඇතුළත් කර තිබෙනවා.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පෞද්ගලිකව නිවාසිකාගාර, එහෙම නැත්නම් නිවාස ලබාගෙනත් ඉන්න අවස්ථා තියෙනවා. නමුත් ඒ සඳහා මාර්ගෝපදේශයක් නැහැ. ඒවායේ තිබිය යුතු අයකිරීම්, අවම තත්ත්වයන් පිළිබඳ මාර්ගෝපදේශයක් මෙතෙක් කල් තිබුණේ නැහැ. නමුත් දැන් අපි ඒ සඳහා මාර්ගෝපදේශ ඔවුන්ගේ සුරක්ෂිතභාවයත්, ආර්ථික සූරාකෑමට ලක් නොවන ලෙසත් මාර්ගෝපදේශ නිකුත් කරන්න දැන් සැලසුම් කරගෙන යනවා.
.
