Spread the love

මාලන් විතාන

2002 වර්ෂයේදී මුල්ගල් තබා ඉදිකිරීම් ආරම්භ කළද, වසර 24කට අධික කාලයක් තිස්සේ ඉදිකිරීම් නතර වී තිබූ මතුගම පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බස්නාහිර පළාත් විගමනික සමපත් මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් අද (2026.09.09) යළි ආරම්භකරයි. විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් එහි තෙමහල් නේවාසික ගොඩනැගිල්ල ඉද්කිරිම සඳහා වැඩ ආරම්භ කරන ලදි.

මෙම මධ්‍යස්ථානයේ පුහුණුව ලබන විගමනික ශ්‍රමිකයින් සඳහා නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් තුන් මහල් නේවාසික ගොඩනැගිල්ලක් සහ දෙමහල් ආපනශාලා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද, ඒවායේ ඉදිකිරීම් වසර 24කට අධික කාලයක් තිස්සේ නතර වී තිබීම හේතුවෙන් පුහුණුව සඳහා පැමිණෙන ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් ලබාදීමේදී ගැටලු රැසකට මුහුණදීමට සිදුව තිබේ.

එම ගොඩනැගිලි කිසිදු ඵලදායී ප්‍රයෝජනයකට නොගෙන දිගු කාලයක් අතහැර දමා තිබීම හේතුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා වෙනත් බාහිර ස්ථාන කුලී පදනම මත ලබාගැනීමට සිදුවීමෙන්ද වාර්ෂිකව සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුව තිබේ.

ව්‍යාපෘතියේ මූලික අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 272 වෙන් කර තිබේ. ඉදිකිරීම් කටයුතු සඳහා දින 460ක කොන්ත්‍රාත් කාලයක් ලබාදී ඇති අතර, ව්‍යාපෘතිය 2027 දෙසැම්බර් 13 වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ නේවාසිකාගාර ගොඩනැගිල්ලේ වර්ග මීටර් 1,713.60ක සමස්ත බිම් ප්‍රමාණයක්ද, ආපනශාලා ගොඩනැගිල්ලේ වර්ග මීටර් 558.94ක සමස්ත බිම් ප්‍රමාණයක්ද සංවර්ධනය කිරීමට නියමිතය.

ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විදේශ රැකියා සඳහා පිටත්වීමට පෙර පුහුණුව ලබන විගමණික ශ්‍රමිකයන් සඳහා අවශ්‍ය නවාතැන් හා ආහාරපාන පහසුකම් සැලකිය යුතු ලෙස පුළුල් හා වැඩිදියුණු කිරීමට හැකි වනු ඇත.

එමෙන්ම, දැනට බාහිර ස්ථාන කුලී පදනම මත ලබාගැනීම සඳහා කාර්යාංශයට දැරීමට සිදුවන වියදම් අවම කර ගැනීමටත්, වසර ගණනාවක් අක්‍රියව පැවති රාජ්‍ය සම්පත් ඵලදායී ලෙස ජනතා සේවයට යොදා ගැනීමටත් මෙමගින් හැකියාව ලැබෙනු ඇත.

කාර්යාංශයේ දීපව්‍යාප්ත පළාත් හා දිස්ත්‍රික් කාර්යාල මගින් ලබාදෙන මහජන සේවාවන් පුළුල් කිරීමේ නව රජයේ වැඩපිළිවෙළට සමගාමීව, මෙම අතහැර දමා තිබූ ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කරවන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පාලනාධිකාරියට උපදෙස් ලබා දී තිබිණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, සාමාන්‍යාධිකාරි එස්.එම්.එස්.ඩී ගුණසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.