Spread the love

නිමල් රාජපක්ෂ

රුපියල් මිලියන 7 ක් වටිනා කොකේන් තොගයක් ශරීරය තුළ සගවාගෙන මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් ඊයේ (13) කටුනායකදි අත්අඩංගුවට ගෙන ඇත.

අදාල පුද්ගලයාගේ හැසිරීම් රටාව ගැන සැකසිතු රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන්කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) සිදුකල පරික්ෂාවකදි තම ශරීරය තුළ කොකේන් කැප්සියුල සඟවාගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ කළ උගන්ඩා ජාතික 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.


වෘත්තියෙන් ගොවියෙකු වන මෙම සැකකරු උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට 2026 සැප්තැම්බර් 12 වන දින කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති අතර, අනතුරුව කටාර් ගුවන් සේවයට අයත් QR 664 දරන ගුවන් යානයෙන් අලුයම කොළඹ බලා පැමිණ තිබේ.


බුද්ධි තොරතුරු සහ අවදානම් විශ්ලේෂණ මත පදනම්ව මෙම මගියා වැඩිදුර පරීක්ෂාව සඳහා තෝරාගෙන ඇති අතර, සිදු කළ පරීක්ෂණ හා විමර්ශනවලදී සැකකරු විසින් ගිල දමා තම ශරීරය තුළ සඟවාගෙන තිබූ කොකේන් අඩංගු කැප්සියුල 13ක් සොයාගෙන ඇත.


එම කැප්සියුලවල අඩංගු මත්ද්‍රව්‍යවල මුළු දළ බර ග්‍රෑම් 161කට ආසන්න වන අතර, එහි ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් මිලියන 7.245ක් පමණ වේ.


තවද, සැකකරු විසින් තවත් මත්ද්‍රව්‍ය අඩංගු කැප්සියුල ගිල දමා ඇති බවට සැකයක් පවතින බැවින්, අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ ක්‍රියාමාර්ග ආරක්ෂක හා නීතිමය අවශ්‍යතා අනුව මේ වන විට සිදු කරමින් පවතී.


වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා සැකකරු සහ සොයාගත් මත්ද්‍රව්‍ය පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාරදීමට ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කටයුතු කර ඇත.