Spread the love

නිමල් රාජපක්ෂ

රණවිරු පවුල්වල සුබසාධනය, ජීවන තත්ත්වය සහ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පසුගියදා හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙරහෙට්ටිය රණවිරු ගම්මානයේ සංචාරයක නිරත විය.

2004 වර්ෂයේදී ස්ථාපිත කර ඇති මෙම රණවිරු ගම්මානයේ රණවිරු පවුල් 23ක් පදිංචිව සිටින අතර, ආබාධිත රණවිරුවන් 07 දෙනෙකු සහ රණවිරු ඥාතීන් 16 දෙනෙකු එහි වෙසෙති. රණවිරු පවුල්වල සුබසාධනය තහවුරු කිරීමේ අරමුණින් මෙම ගම්මානය ස්ථාපිත කර ඇත.

සංචාරය අතරතුරදී යුද්ධ හමුදාධිපති ගම්මානයේ පදිංචි රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ දෛනික ජීවිතය, සුබසාධන අවශ්‍යතා සහ පවතින ගැටලු පිළිබඳව විමසා බැලීය.

එහිදී රණවිරු පවුල් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සහ ගැටලු පිළිබඳව අවධානය යොමු කළ යුද්ධ හමුදාධිපති, අදාළ බලධාරීන් වෙත අවශ්‍ය පියවර ගනිමින් එම ගැටලු විසඳීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.

රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ගෞරවය, ආරක්ෂාව සහ සුබසාධනය අඛණ්ඩව ප්‍රමුඛතාවක් ලෙස සලකා ඔවුන් සියලු දෙනා එකම හමුදා පවුලක සාමාජිකයින් සේ සලකා කටයුතු කරන බවද එතුමන් අවධාරණය කළේය.