Spread the love

නිමල් රාජපක්ෂ-

මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කර ඇති මෙට්‍රො බස් සේවාවේ පරිපාලන, නඩත්තු හා මෙහෙයුම් කාර්යයන් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක මෙට්‍රො ඩිපෝ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද සිව්වන ඩිපෝ අංගනය රත්මලානේ දී අද දින (2026.09.21) විවෘත කෙරිණ.

රත්මලාන, ගාලු පාරට මුහුණ ලා ඉදිකර ඇති නව මෙට්‍රො ඩිපෝ අංගනය නිල වශයෙන් ජනතා අයිතියට පත්කිරීම නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන මැති ඇමතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණ.

ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ ක්‍රියාත්මක නව ඩිපෝ අංගන ඉදිකිරීමේ ව්‍යාපෘතිය මගින් මේවනවිට රත්මලාන නව ඩිපෝවට අමතරව තලංගම, කඩවත සහ ඒකල ඩිපෝ සේවා සඳහා විවෘත කෙරිණ. පළමු අදියරේ ඩිපෝ ව්‍යාපෘතියේ පස්වන ඩිපෝ අංගනය එළැඹෙන 2027 වසරේ ජනවාරි මාසයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම දී ආරම්භ කිරීමට ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම සැලසුම් කර ඇත.

අද දින ප්‍රවාහන සේවා ආරම්භ කල රත්මලාන ඩිපෝව කේන්ද්‍ර කරගනිමින් නව මෙට්‍රො බස් රථ 30 ක් කොළඹ නාගරික ප්‍රවාහන සේවා සඳහා යෙදවීමට නියමිතය.

මෙම අවස්ථාවට එක්වූ එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් :
‘මේ රටේ පොඩි මිනිස්සු ජනතාවාදී පාලනයකට මේරට බාරදීලා අදට වසර දෙකක් වෙනවා. රටට අද ඓතිහාසික දිනයක්. රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල අතීත පරම්පරාවේ සිහිනයත්, System Change එකක් කරන්න අරගල කල නූතන පරම්පරාවේත් සිහිනයත් යතාර්ථයක් කිරීමට ජනතාව මැදිහත් වූ දිනයක් සැප්තැම්බර් 21. අපේ පෙර පරම්පරාව පැතූ සිහිනය අඩියෙන් අඩිය යතාර්ථයක් බවට පත්වෙමින් තියෙනවා. ඔබ පත්කල ජනතා පාලනය තුල මේ මෙට්‍රො ආදරණීය දරුවා බිහිකරල තියෙනවා.

ඒ සමග රටේ ජනතාව මෙට්‍රො ව්‍යාපාරයට ආදරය කරන කවි ලියන, වැකි ලියන, ගීත ලියන ධනාත්මක තාවයකට පැමිණ තිබෙනවා. මෙට්‍රො ව්‍යාපාරයට ආදරය කරනවා. අලුත් බස් එකක් පාරට දැම්මට එහෙම වෙනසක් ඇතිවෙන්නෙ නැහැ. විවිධ සාකච්ඡා, තීරණ, පොදු එකඟතා, සාමූහික උත්සාහයන්වල ප්‍රතිඵලයක් මෙන්ම ක්‍රියාත්මක වැඩපිළිවෙලක් සහිතව ක්‍රියාත්මක වීම තුල ජනතා ආකර්ශණයට පත්වුණා. රටේ නව ප්‍රවාහන සංස්කෘතියක් වෙනුවෙන් කුඩා පැලයක් රෝපණය කලා. එය මහා වෘක්ෂයක් බවට පත්කිරීම අවශ්‍යයි. මෙට්‍රො ඉදිරිගමන් මග සියලු දෙනාගේ සහයෙන් සාර්ථක වෙනවා.

Metro Bus 10 න් ආරම්භ කල මෙම නාගරික ප්‍රවාහන සේවාව ලබන 29 වන දා වනවිට බස් 122 ක් දක්වා වර්ධනය කරනවා. මේ බස් 122 දැනට හදඳුන්වා දී ඇති බස් මාර්ග හතක ධාවනයට යොදවනවා. ඉතා ඉක්මණින් තවත් බස් රූට් දෙකක් හඳුන්වාදී සමස්ත මාර්ග නවයක මෙට්‍රො සේවාව විවෘත කරනවා. 2027 මැයි මාසය වනවිට තවත් නව මෙට්‍රො බස් රථ 50 ක් බලඇණියට එක් කරනවා. ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට බස්නාහිර පලාතෙන් පරිබාහිරව ගාල්ල, මහනුවර, යාපනය ප්‍රධාන නගර කරාත් මෙට්‍රො බස් සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනවා. එමෙන්ම ඉදිරි වසර පහ අවසන් වීමට පෙර ගම්පහ, කුරුණෑගල, මීගමුව, කළුතර, අනුරාධපුරය සහ මාතර නගර මූලික කර ගනිමින් මෙට්‍රො බස් සේවාව ව්‍යාප්ත කරනවා. ඊට අමතරව චීනයෙන් තවත් ඉලෙක්ට්‍රික් බස් රථ 100 ක් ආනයනය කර මෙරට ප්‍රවාහන සේවාව පුළුල් කිරීමට කටයුතු කරනවා. අළුතින් නිට්ටඹුව, කැස්බෑව නගර සඳහාත් බස් සේවා ආරම්භ කරනවා.