නිමල් රාජපක්ෂ-
යාපනය දිස්ත්‍රික්කයේ කයිතඩි ප්‍රදේශයේ නවීන පහසුකම්වලින් සමන්විතව අභිනවයෙන් ඉදිකරන ලද කයිතඩි නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා සේවයට එක් කෙරිණි.
රුපියල් මිලියන 28ක වියදමකින් ඉදිකර ඇති මෙම නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල, වසර දහයකට පමණ පසුව නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වෙන් කළ ප්‍රතිපාදන යටතේ ඉදිකර තිබේ. 2025 අයවැය මගින් නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එම ප්‍රතිපාදන යටතේ කයිතඩි නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කෙරිණි.
නව රජය බලයට පත්වීමෙන් අනතුරුව මුල්ගල තබා, ඉදිකිරීම් අවසන් කර ජනතා සේවයට එක් කළ නවීන පහසුකම්වලින් සමන්විත 13 වන නව තැපැල් කාර්යාලය මෙය වේ.
මෙම තැපැල් කාර්යාලය ඉදිකිරීම සඳහා භූමිය පරිත්‍යාග කළ කයිතඩි ප්‍රදේශයේ පදිංචිව සිටි නැසීගිය ආරුමුගන් සූරියකුමාරන් මහතාගේ රුව සහිත පුද්ගලාරෝපිත මුද්දරයක් ද මෙහිදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අතින් ඒ මහතාගේ බිරිඳ වන සූරියකුමාරන් දයාපරී මහත්මිය සහ පුත් සූරියකුමාරන් මයුරන් මහතා වෙත පිළිගැන්විණි.
