Spread the love

නිමල් රාජපක්ෂ

දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අනාවරණය කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (22) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙම වැඩසටහන යටතේ 2024 වසරේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා ප්‍රතිපාදන ව්‍යාපෘතිය මගින් ලබාගත් සුහුරු පුවරු 1,000 මේ වන විට පාසල් 1,000 ක් වෙත බෙදා දී අවසන් කර ඇති බවත්, 2025-2026 වසර සඳහා චීන ආධාර ව්‍යාපෘතිය යටතේ ආනයනය කරන ලද සුහුරු පුවරු 900 න් පුවරු 500 ක් පාසල් වෙත ලබා දී ඇති අතර, චීන රජයෙන් පත් කර ඇති ව්‍යාපෘති කළමනාකරණ කමිටුව මගින් එම සුහුරු පුවරු ස්ථාපිත කිරීමේ (Installation) කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

මීට අමතරව, ඩිජිටල් කාර්යසාධක බලකායේ මඟපෙන්වීම සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ප්‍රතිපාදන ව්‍යාපෘතිය යටතේ පළාත් මට්ටමින් ප්‍රසම්පාදනය කරන ලද සුහුරු පුවරු 2,670 ම සම්පූර්ණයෙන්ම බෙදා හැරීමට පියවර ගෙන ඇති අතර, ඒවා පාසල්වල සවිකිරීමේ කටයුතු ද මේ වන විට සක්‍රීයව සිදු කෙරෙමින් තිබෙන බවද අග්‍රාමාත්‍යතුමිය පැවසීය.