Spread the love

.

නිමල් රාජපක්ෂ-

මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණෙන රෝගීන් සඳහා වඩාත් කඩිනම්, නිරවද්‍ය හා ගුණාත්මක රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් තහවුරු කිරීමේ අරමුණින්, ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 177ක පිරිවැයක් දරමින් ස්ථාපිත කරන ලද අති නවීන CT ස්කෑන් යන්ත්‍රය නිල වශයෙන් රෝහල් ප්‍රතිකාර සේවාවට එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ සිදු කෙරිණි.

මීගමුව සහ ඒ අවට ප්‍රදේශ රැසකින් දෛනිකව විශාල රෝගීන් සංඛ්‍යාවක් පැමිණෙන මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ රෝග විනිශ්චය සේවා ශක්තිමත් කිරීම සඳහා මෙම නවීන CT ස්කෑන් යන්ත්‍රය මගින් සුවිශේෂී දායකත්වයක් ලැබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙතෙක් මෙම පරීක්ෂණ සේවා සඳහා රෝගීන් රාගම ශික්ෂණ රෝහල සහ වැලිසර රෝහල වෙත යොමු කිරීමට සිදුව තිබූ අතර, නව යන්ත්‍රය ස්ථාපිත කිරීමත් සමඟ එම පහසුකම මීගමුව රෝහල තුළදීම ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත්, එමගින් රෝගීන්ට ගතවන කාලය මෙන්ම ප්‍රවාහන වියදම්ද සැලකිය යුතු ලෙස අවම වන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව, රුපියල් ලක්ෂ 290ක පිරිවැයක් දරමින් පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර නවීන පහසුකම් සහිතව නව්‍යකරණය කරන ලද මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සායන ගොඩනැගිල්ලද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ප්‍රතිකාර සේවා සඳහා විවෘත කෙරිණි. දීර්ඝ කාලයක් අබලන් තත්ත්වයේ පැවති මෙම ගොඩනැගිල්ල ගරු ඩැරැල් කූඤ්ඤ පියතුමාගේ මූලික මැදිහත්වීම මත දානපතීන්ගේ හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කර තිබේ.

එමෙන්ම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය මගින් රුපියල් මිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදන වැය කර රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද ව්‍යායාම මධ්‍යස්ථානයද (Gym) අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය. කාර්යබහුල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ශාරීරික යෝග්‍යතාව හා සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට මෙම පහසුකම ඉවහල් වනු ඇත.

අනතුරුව රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයා, රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටි රෝගීන් සමඟද සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව සොයා බලන ලදී.

මෙම අවස්ථාව සඳහා ගරු ඩැරැල් කූඤ්ඤ පියතුමා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, මීගමුව නගරාධිපති දුලීප් චාමර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. පී. යෝගචන්ද්‍ර, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂිකා පුෂ්පා ගම්ලත්ගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ චමින්ද කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් පිරිසක් එක්ව සිටියහ.