Spread the love

මාලන් විතාන-

වර්තමානය වන විට රාජ්‍ය ආයතන බොහොමයක් පෙරට වඩා කාර්යක්ෂමව පැවතීම හේතුවෙන් රාජ්‍ය සේවය පිළිබඳ ජනතා ප්‍රසාදයක් මේ වන විට ඇතිව තිබෙන බවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන මගින් ඉහළ ජනතා සේවයක් ලබා දෙන තත්ත්වයකට පත්ව තිබීම සතුටට කරුණක් බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන 2025/2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලට සමගාමීව, බස්නාහිර සහ වයඹ පළාත් තරගකරුවන් අතරින් විශේෂ කුසලතා සහ කුසලතා සම්මාන හිමිකරගත් ගම්පහ, කොළඹ , කළුතර , කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ජයග්‍රාහක ආයතන වෙත සම්මාන ප්‍රදානෝත්සවය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය අග්‍රා ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේ අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය. “හුදෙක් අද අප සිදු කරන්නේ ඔබ අතට සම්මානයක් පත් කිරීම පමණක් නොවේ. රටේ ඉදිරි ගමන්මග පිළිබඳ සාකච්ඡා කරන, තීරණය කරන වැදගත් මොහොතක් වැදගත් අභියෝගයක් පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවක්. එයයි ඵලදායීතාවය. එසේ කියන්නේ රටක් දියුණු වෙන්නේ මිනිස්සු වැඩිපුර පැය ගානක් මහන්සි වෙලා වැඩ කරන නිසා ම නෙවෙයි. එහෙම නැත්නම් වැඩ කරන හැම පැයකින්ම වැඩි වටිනාකමක් නිර්මාණය කිරීම නිසා. අපේ ඉලක්කය විය යුත්තේ අප ආයෝජනය කරන හැම රුපියලකින්ම වැඩි වටිනාකමක් අලුත් අගයක් නිර්මාණය කිරීම. හැම භාවිත කරන විදුලි ඒකකයකින්ම, හැම බිම් අගලකින්ම අපි ගත කරන හැම මිනිත්තුවකින්ම වැඩි ඵලදායිතාවක් නිර්මාණය කිරීම. තාක්ෂණය පාවිචිචි කරල මිනිස්සුන්ගෙන් වැඩි වටිනාකමක් නිර්මාණය කරනවා වගේම මිනිස්සුන්ගේ හැකියාවෙන් දක්ෂතාවන් දියුණු කර ගන්නවා නම් අපි හිතනවා එතන ඵලදායිතාව තියෙනවා කියලා.

වැඩියෙන්ම කතා කරන දෙයක් තමා නාස්තිය, දූෂණය අවම කිරීම, අපි මේ කාලයේ නාස්තිය දූෂණය අවම කිරීම පිළිබඳව ලොකු අරගලයක ඉන්නවා. ඒක ඵලදායිතාවයේ කොටසක්. ඒ වගේම අපි අත්දකිනවා පසුගිය ඉතිහාසයේ අපේ රටේ සම්පත් භෞතික සම්පත් මානව සම්පත් අමුද්‍රව්‍ය කොපමණ නාස්තිවෙලා විනාශවෙලා දූෂණයට ලක්වෙලා තියෙනවා ද කියලා. ඒක වෙනස්කරන එක තමා ඵලදායිතාවය. විශේෂයෙන්ම අපි රාජ්‍ය සේවය ගැන කතාකරන කොට පසුගිය කාලයේ විශේෂයෙන්ම කතා කරපු දෙයක් තමා අපි ආයතනවලට ගියාම බොහෝ ප්‍රමාදවීම ගැන කියනවා. එකම ආයතනය ගියත් වැඩක් කර ගන්න බැහැයි කියන එක. ඒ ප්‍රමාදය දැන් විනාඩි දහයකින් ඉටුකර දිය හැකි නම් එයයි ඵලදායිතාවය.”

මෙහිදී අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. “ඵලදායිතා සම්මානය කියන්නේ සමානයක් නොව ඔබ හා ඔබේ ආයතනය ඉහළට ඔසවා තබන්නට ඔබේ ආයතනවල ක්‍රියවලින්, ක්‍රමවේදය ඔබේ ආයතනය මේ රටේ ඵලදායී ආයතනයක් කරන්නට ඔබ දැරූ ප්‍රයත්නයක ප්‍රතිඵලයයි මේ ඇගයීම. මෙවැනි තරගාවලියකදී මෙවැනි ස්ථානයකට පැමිණීම යනු පහසු කාර්යයක් නොවේ. තරගාවලියේ නිර්ණායක අනුව ආයතනය ගොඩනගන්න කටයුතු කළොත් එය තමයි අප ලබන හොඳම සම්මානය. මේ රට ඵලදායී රටක් ලෙස පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් පොහොසත් රටක් වෙන්න නම් රට ඵලදායී විය යුතුයි. ඒ ඵලදායී රටේ ජනතාව ලස්සනට ජීවත් වෙන්න නම් ජනතාව සතුටින් සිටිය යුතුයි.”

මෙම අවස්ථාවේදී ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අධ්‍යක්ෂ දුලිප් සෝමරත්න යන මහත්වරුන්ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික හෙට්ටිආරච්චි, ප්‍රගීත් මධුරංග, ලසිත් භාෂණ, ගම්පහ පුරපති එරික් එදිරිවික්‍රම, ගම්පහ දිසාපති ලලින්ද ගමගේ, අතිරේක දිසාපතිවරුන් වන සුගත් කිත්සිරි හා ආසිරි වීරසේකර යන මහත්වරුන් ද පළාත් පාලන ආයතන සභාපතිවරුන්, ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා බස්නාහිර, වයඹ පළාත්වල සම්මානලාභින් එක්ව සිටියහ.