නිමල් රාජපක්ෂ-
ශ්‍රි ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 265 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය එක් දෙනෙකු (301) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් විසි දෙදෙනෙකු (22) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය විසිතුන් දෙනෙකු (323) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2026 ඔක්තෝබර් මස 10 වැනි දින පූනෑව, ශ්‍රි ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි.
ශ්‍රි ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී, කපිතාන් කැළුම් මාරඹගේ ගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
මෙම විසිරයාමේ පෙළපාලියේදී, ශික්ෂා ආයතනයේදී සිදුකෙරුණු න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්රදානය කිරීම, ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි. ඒ අනුව, 265 වන බඳවා ගැනීම යටතේ විසිර යන ලද ආධුනික නාවිකයින් තුන්සිය විසිතුන් දෙනෙකු (323) අතරින් විශිෂ්ටතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි (කාන්තා) ආර්එස් ගිද්දවගේ විසින් හිමිකර ගනු ලැබීය. එමෙන්ම, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ආර්පීඑස් කරුණාරත්න විසින්ද, දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි එස්ජීජීකේ විජේරත්න විසින්ද, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික නැවි (කාන්තා) කේඩබ්ඒඅයි සඳමාලි විසින් සහ දක්ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි එම්බීජීසීඑන් බැද්දේවෙලගේ විසින් හිමි කර ගත් අතර, 265 වන ආධුනික බඳවා ගැනීමට අයත් දක්ෂතම අංශයට හිමි කුසලානය ‘සයුරළ’ අංශය විසින් හිමි කර ගනු ලැබීය.
මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, 265 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් වෙත ප්‍රථමයෙන් සිය සුභපැතුම් පිරිනමනු ලැබීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, නාවික හමුදාවට එක්වන ආධුනික නාවිකයන්ගේ අධ්‍යාපනික, වෘත්තීයමය හෝ සමාජීය අනන්‍යතාවය කුමක් වුවද, විසිර යාමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයෙකු ලෙස ආධුනික නාවිකයන්ගේ ක්‍රියාකාරකම් දෙස ලෝකය බලා සිටින බැවින්, නාවික හමුදාවේ ගෞරවය සුරැකෙන අයුරින් කටයුතු කිරීම සඳහා විශාල වගකීමක් පැවරෙන බව පවසනු ලැබීය.
ආධුනික නාවිකයන් විසිරයාමේ රාත්‍රී පෙළපාලියකදී සිදුකරන ලද පලමු පැරෂුට් සංදර්ශණය මෙම විසිරයාමේ පෙළපාලියේදී පැවැත්වුණු අතර, මෙම සංදර්ශණය සඳහා විශේෂ යාත්‍රා බළඝණයේ කොමාණ්ඩර් තිස්ස කුමාර සහ සමූහ ප්‍රධාන සුළු නිලධාරී කේසීඑම්කේ ගීකියනගේ සහභාගී වූහ. එමෙන්ම, 265 වැනි බඳවා ගැනීමට අයත් විසිර යන ලද ආධුනික නාවිකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු දර්ශනීය සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායම හා සංස්කෘතික නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කල විචිත්‍රවත් සංදර්ශනයකින් මෙන්ම, නාවික හමුදා අංගම් හරඹ සංචිතයේ සංදර්ශණයකින්ද වර්ණවත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය සාම්ප්‍රදායික හිරු අස්ථවිය චාරිත්‍රයෙන් අනතුරුව නිමාවට පත්විය.
තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා, අධ්යක්ෂ නාවික පුද්ගල කොමදෝරු මනෝජ් ලීලාරත්න ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ධජ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ පුහුණු විධායක කොමාණ්ඩර් කසුන් නුවරපක්ෂ ඇතුළු උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, ආරාධිතයින්, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයින් සහ විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.
