Spread the love

නිමල් රාජපක්ෂ-

​ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහන යටතේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික පැරණි පාර්ලිමේන්තු සභා ගර්භය නැරඹීමට අද (12) පැමිණි මාවනැල්ල, මෙදේරිගම මහා විද්‍යාලයේ සිසු දරුවන්ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වී සුහද කතාබහක නිරත වීමට අවස්ථාව උදා විය.

​එහිදී වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාසල් ජීවිතය මෙන්ම තම අධ්‍යාපන කටයුතුවලදී මුහුණ දීමට සිදුවන විවිධ අභියෝග පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය හමුවේ සෘජුවම කරුණු දැක්වීමට පාසල් දරුවෝ කටයුතු කළහ. කිසිදු පැකිලීමකින් තොරව තම අත්දැකීම් සහ අදහස් අග්‍රාමාත්‍යතුමිය සමඟ හුවමාරු කර ගැනීමට ද සිසුන්ට මෙහිදී හැකි විය.

​මෙම සංචාරය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමිය විසින් මෙදේරිගම මහා විද්‍යාලය වෙනුවෙන් විශේෂ පැළයක් ද පරිත්‍යාග කරන ලදී.

​සංචාරය ආරම්භයේදී ඓතිහාසික පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ අතීත ශ්‍රී විභූතිය සහ එහි ඇති ජාතික වැදගත්කම පිළිබඳව සිසුන් දැනුවත් කිරීමට පියවර ගැනිණි. අනතුරුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා විසින් ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ එමඟින් ජනතාවට සැලසෙන සේවාවන් පිළිබඳව දරුවන් දැනුවත් කරන ලදී.

​ප්‍රජාතන්ත්‍රවාදී අගයන් අගයන, රාජ්‍ය ආයතනවල කාර්යභාරය නිවැරදිව තේරුම් ගත්, රටේ අනාගතය වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරන බුද්ධිමත් පරපුරක් බිහිකිරීමේ අරමුණින් මෙම ‘Vision’ වැඩසටහන ක්‍රියාත්මක වන අතර ජාතික වැදගත්කමක් ඇති ස්ථාන දැකබලා ගනිමින්, රටට බලපාන වැදගත් කරුණු පිළිබඳව විවෘතව සංවාදයේ යෙදීමට පාසල් සිසුන්ට මෙමඟින් අවස්ථාව සැලසේ.