නිමල් රාජපක්ෂ –
අග්බෝ ඇතා සොයා අද දිනය පුරාම යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කර තිබේ. අග්බෝ ඇතා සොයා සිදුකරන මෙහෙයුම් පිළිබඳව අඛණ්ඩව අවධානය යොමු කරමින් සිටින පරිසර අමාත්යවරයා සඳහන් කළේ, හෙට දිනයේදී ද සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කරන බවයි.
මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, බ්රිගේඩියර් බස්නායක සහ මේජර් සිල්වා ඇතුළු 21 වන පාබල සේනාංකයේ සෙබළුන් අද දිනයේදී එහෙයිය වැවෙන් මහකනදරාවට ජලය ගෙනයන ඇළේ දකුණු ඉවුර ආශ්රිතව අග්බෝ ඇතා සොයා මෙහෙයුම් දියත් කර තිබේ.
එහිදී අග්බෝ ඇතාගේ පෙනුමට සමාන ඇතෙකු සහ අලි රංචුවක් නිරීක්ෂණය වී ඇත. එම සතුන් අතර අග්බෝ ඇතා සිටින්නේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා වනජීවී නිලධාරීන් සහ යුද හමුදා සෙබළුන් එම රංචුව දෙසට ගමන් කිරීමේදී, දළ ඇතා ද සහිත එම අලි රංචුව ඝන කැලෑ ප්රදේශයකට ඇතුළු වී තිබේ.
මීට අමතරව, තවත් කණ්ඩායමක් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තෝඩමඩුව ප්රදේශයේ ගොවි මහතෙකු අග්බෝ ඇතා දැක ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. ඔහු සඳහන් කර ඇති පරිදි, අද අලුයම 3.00ට පමණ අග්බෝ ඇතා තම පැල අසලින් නාච්චාදූව වැව දෙසට ගමන් කර තිබේ.
අග්බෝ ඇතා සොයා දින කිහිපයක් පුරා සිදුකරන සෝදිසි මෙහෙයුම් සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් පවසන්නේ ඇතා මද කිපී ඇති තත්ත්වයක පසුවන අතර වේගයෙන් ගමන් කරමින් සිටින බවයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අග්බෝ ඇතා සොයා සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්ය පියවර ගෙන ඇති බව පරිසර අමාත්යවරයා සඳහන් කළේය. ඒ අනුව, හෙට දිනයේදී ද සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කිරීමට නියමිතය.
අග්බෝ ඇතා සිටින ස්ථානය නිශ්චිතව තහවුරු කර ගැනීම සහ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා යුද හමුදාව සහ වනජීවී නිලධාරීන්ගේ මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක කෙරේ.
