නිමල් රාජපක්ෂ
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්ය සේවා) තනතුරට විශේෂඥ වෛද්ය එස්. එස්. මහේන්ද්ර ආනල්ඩ් මහතා පත් කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය ප්රදානය කිරීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (19) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේදී සිදු කෙරිණි.
ජ්යෙෂ්ඨ වෛද්ය පරිපාලකයෙකු වන විශේෂඥ වෛද්ය එස්. මහේන්ද්ර ආනල්ඩ් මහතා මීට පෙර නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්ය) ධූරයේ රාජකාරී කටයුතු සිදු කරන ලද අතර, කොවිඩ්-19 (COVID-19) වසංගතය මෙරට පැතිර ගිය සමයේ සෞඛ්ය අමාත්යාංශයේ නිරෝධායන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙසත්, ජාතික බෝවන රෝග විද්යායතනයේ (National Institute of Infectious Diseases) අධ්යක්ෂවරයා ලෙසත්, කොළඹ ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂවරයා ලෙසත් කටයුතු කර ඇත.
2006 වර්ෂයේ විශේෂඥ වෛද්යවරයෙකු ලෙස පත් වූ එස්. මහේන්ද්ර ආනල්ඩ් මහතා 2010 වසරේදී වෛද්ය පරිපාලන ක්ෂේත්රයට එක්ව ඇත.
මහජන සෞඛ්ය සේවා ක්ෂේත්රයට අදාළ ප්රතිපත්ති හා වැඩසටහන් ක්රියාත්මක කිරීම, සෞඛ්ය සේවා පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජනතාවට ගුණාත්මක සෞඛ්ය සේවාවක් සැපයීම සඳහා අදාළ පරිපාලන කටයුතු සම්බන්ධීකරණය කිරීමේදී මෙම අතිරේක ලේකම් (මහජන සෞඛ්ය සේවා) තනතුර වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
මෙම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන සහ කොළඹ ජාතික රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය ඉන්දික සම්පත් කුමාර යන මහත්වරුන්ද එක්ව සිටියහ.
