Spread the love

           නිමල් රාජපක්ෂ-

වැලිමඩ නුගතලාව ප්‍රදේශයේ ‘අයිටෙක් ටුවරිසම් (Pvt) Ltd’ නමැති විදේශ රැකියා නියෝජිත ආයතනය මගින් නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ රැකියා ජාවාරමකට සම්බන්ධ අඹුසැමි යුවළක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා වැලිමඩ පොලීසියේ නිලධාරීන් විසින් 2026.10.16 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

අංක 165, මහනුවර පාර, දලුගම, කිරිබත්ගොඩ යන ලිපිනයෙහි මෙම ආයතනය පවත්වාගෙන ගොස් තිබේ. ලියාපදිංචි අංක 2594 දරන, මෙම ආයතනයේ විදේශ රැකියා බලපත්‍රය 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වී තිබියදීත්, එම නමින්ම වැලිමඩ නුගතලාව ප්‍රදේශයේ මෙම ආයතනය නැවතත් ආරම්භ කරමින් මොවුන් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත.

සර්බියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), කොරියාව, සහ රුමේනියාව යන රටවල රැකියා ලබා දෙන බව පවසමින් රැකියා ඇණවුම් පවා නොමැතිව මහජනතාවගෙන් මුදල්  අයකිරීම මොවුන් විසින් සිදු කර තිබේ.

2025 වසරේ සිට 2026 සැප්තැම්බර් 09 වන දින දක්වා කාලය තුළ පමණක් මොවුන්ට එරෙහිව පැමිණිලි 12 ක් වාර්තා වී ඇති අතර, ඉන් වංචා කර ඇති මුළු මුදල රුපියල් අසූදෙලක්ෂ හතළිස් දහසක්               (රු. 8,240,000/-) පමණ වන බව අනාවරණය වී ඇත.

කාර්යංශයට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂකතුමා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026 සැප්තැම්බර් 16 වන දින වැලිමඩදී මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී බලපත්‍රලාභියා වන  කඩවත ලිපිනයෙහි පදිංචි ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ  අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දින 14 ක කාලයක් සඳහා, එනම් 2026 ඔක්තෝබර් 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.මීට අමතරව, ඉදිරි නීතිමය කටයුතු සඳහා සැකකරුවන් ලබන ඔක්තෝබර් 26 වන දින මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.