නිමල් රාජපක්ෂ-
1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී තම අප්රතිහත ධෛර්යය, අධිෂ්ඨානය හා නොපසුබස්නා උත්සාහය තුළින් ලෝක අවධානය දිනාගත් ප්රකට ශ්රී ලාංකික මලල ක්රීඩක රණතුංග කරුණානන්ද මහතාගේ සේවය හා ආදර්ශමත් චරිතය අගය කරමින්, නව සමරු තැපැල් මුද්දරයක් නිකුත් කිරීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (20) ජනමාධ්ය අමාත්යාංශයේ දී සිදු කෙරිණි.
ශ්රී ලංකාවේ ක්රීඩා උරුමය සංරක්ෂණය කිරීම සහ එතුමාගේ ජීවිත කතාව අනාගත පරපුර වෙත ගෙන යාම මෙහි අරමුණ විය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා සඳහන් කළේ මෙම සමරු මුද්දරය නිකුත් කිරීම යනු හුදෙක් පුද්ගලයකු අනුස්මරණය කිරීමක් පමණක් නොව, කරුණානන්ද මහතා ලොවට තිළිණ කළ නොපසුබස්නා උත්සාහයේ සහ විනයගරුක මානසික ශක්තියේ දර්ශනය සදාතනිකව රැකගැනීමක් බවයි.
1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 10,000 ධාවන ඉසව්වේදී අනෙකුත් තරගකරුවන් තරගය නිම කර තිබියදී පවා, තමන් ආරම්භ කළ ගමන අත්නොහැර අවසානය දක්වාම දිව ගිය කරුණානන්ද මහතා “දිරිමත් පරාජිතයා” (Courageous Loser) ලෙස ලෝකය පුරා අතිශය ගෞරවාදරයට පාත්ර විය. ජයග්රහණය යනු ප්රථම ස්ථානය ලබාගැනීම පමණක් නොව, තමන් භාරගත් වගකීම හා ගමන ධෛර්ය සම්පන්නව අවසන් කිරීම බව එතුමා මුළු ලොවටම පසක් කර දුන්නේය.
තවද, කරුණානන්ද මහතාගේ මෙම වීර පණිවිඩය ශ්රී ලංකාවට පමණක් නොව ජපානයටද බෙහෙවින් සමීප වූවක් බවත්, ජපානයේ පාසල් පෙළපොත් පවා එතුමාගේ ජීවිත කතාව ආදර්ශයට ගනිමින් සකස් කර ඇති බවත් අමාත්යවරයා සිහිපත් කළේය.
මෙම මුද්දරය නිකුත් කිරීම තුළින් දෙරට අතර පවතින සංස්කෘතික හා ආත්මීය සබැඳියාව තවදුරටත් තහවුරු වන බවද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළහ.
1936 මැයි 21 වන දින මහනුවර දී උපත ලද රණතුංග ජයසේකර කෝරලගේ කරුණානන්ද මහතා ගම්පොළ ජිනරාජ විද්යාලයෙන් සහ අම්පිටිය මහා විද්යාලයෙන් අධ්යාපනය ලබා,
ශ්රි ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය නියෝජනය කරමින් ජාතික හා ජාත්යන්තර මට්ටමින් දැක්වූ දක්ෂතා අනාගත තරුණ පරපුරට මහත් ආදර්ශයක් බව ද මෙම උත්සවයේදී
අවධාරණය කෙරිණි.
කෝරලගේ කරුණානන්ද මහතා
1964 ඔක්තෝබර් 14 දින ජපානයේ ටෝකියෝ නුවර පැවැති ඔලිම්පික් උළෙලේ මීටර් 10,000 ධාවන ඉසව්වට සහභාගි විය.අනෙකුත් තරගකරුවන් තරගය අවසන් කර තිබුණද, තම ධාවනය නතර නොකර අවසානය දක්වා දිවීම හේතුවෙන් ලෝක අවධානයට ලක් විය. මෙම අප්රතිහත ධෛර්යය නිසා එතුමා “දිරිමත් පරාජිතයා” (Courageous Loser) යන විරුදාවලියෙන් ප්රසිද්ධියට පත් වූ අතර, අනාගත පරම්පරාවට සහ රටේ තරුණ තරුණියන්ට නොසැලෙන මානසික ශක්තියෙන් යුතුව ජීවිතයේ අභියෝගවලට මුහුණදීමට කරුණානන්ද මහතාගේ චරිතය සදාකාලික මඟපෙන්වීමක් වනු ඇත.
මෙම විශේෂ නව සමරු තැපැල් මුද්දරය නිකුත්
කිරීමේ උත්සවය සඳහා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න, ශ්රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (H.E. Akio Isomata), තැපැල් දෙපාර්තමේන්තුවේ සහ මුද්දර කාර්යාංශයේ උසස් නිලධාරීන් මෙන්ම අභාවප්රාප්ත රණතුංග කරුණානන්ද මහතාගේ පවුලේ සාමාජිකයන්ද සහභාගි වූහ.
