Spread the love

නිමල් රාජපක්ෂ

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සංවිධානය කරනු ලබන ‘i5 | FIVE Industry Excellence Journey & Awards 2026’ ජාතික වැඩසටහන සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය හඳුනාගනිමින්, දේශීය නිෂ්පාදකයින්ගේ නිෂ්පාදිතතාව, නවෝත්පාදනය, තරගකාරීත්වය සහ තිරසාර වර්ධනය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. ඒ අනුව, දිවයින පුරා පිහිටි සුළු, මධ්‍යම හා මහා පරිමාණ නිෂ්පාදන ව්‍යවසායන්ට මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමි වේ.

සම්මානවලින් ඔබ්බට ගිය කාර්මික විශිෂ්ටත්වයේ ගමනක්

‘i5’ වැඩසටහන හුදෙක් සම්මාන ප්‍රදානයකට සීමා නොවී, දේශීය නිෂ්පාදන ව්‍යවසායන් අනාගත කර්මාන්ත පරිවර්තනය සඳහා සූදානම් කරන අඛණ්ඩ සංවර්ධන ක්‍රියාවලියක් ලෙස ක්‍රියාත්මක වේ.

තාක්ෂණික දියුණුව, මානව හැකියාවන්, නම්‍යශීලීභාවය සහ තිරසාර සංවර්ධනය එකට සම්බන්ධ කරන ‘කර්මාන්ත 5.0’ (Industry 5.0) සංකල්පය මත පදනම්ව මෙම වැඩසටහන සැලසුම් කර තිබේ. ජයග්‍රාහී ව්‍යවසායන්ගේ සාර්ථකත්වයන් ඇසුරින් සිද්ධි අධ්‍යයන (Case Studies) සහ වීඩියෝ නිර්මාණය කිරීම තුළින් අනෙකුත් ව්‍යවසායකයන්ට ද දැනුම හා අත්දැකීම් බෙදාදීම මෙහි තවත් විශේෂත්වයකි.

ප්‍රධාන ඇගයීම් ක්ෂේත්‍ර තුනක් යටතේ සම්මාන 69ක්

මෙම ඇගයීම් ක්‍රියාවලිය ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් යටතේ සිදු කෙරේ.

– Enterprise Excellence: නායකත්වය, මූල්‍ය හා සංවිධානාත්මක කාර්යසාධනය සහ පාර්ශ්වකරුවන් කළමනාකරණය.

– Industry Excellence: නිෂ්පාදන ක්‍රියාවලිය, ස්වයංක්‍රීයකරණය, නවෝත්පාදනය, මෙහෙයුම් කාර්යක්ෂමතාව, ඩිජිටල් හැකියාව සහ පාරිසරික යහපැවැත්ම.

– Transformation Capability: තාක්ෂණය වැළඳගැනීම, මානව සම්පත් සංවර්ධනය, අභියෝගවලට මුහුණදීමේ හැකියාව සහ තිරසාර බලපෑම.

මෙම ප්‍රධාන ක්ෂේත්‍ර තුන යටතේ ඇගයීම් ක්ෂේත්‍ර 21ක් ආවරණය වන අතර, සුළු, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් සම්මාන 69ක් පිරිනැමීමට නියමිතය.

අයදුම් කළ හැක්කේ කාටද?

ශ්‍රී ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයක ලියාපදිංචි වී, අවම වශයෙන් වසර තුනක සක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලියක නිරත සුළු, මධ්‍යම හා මහා පරිමාණ නිෂ්පාදන ව්‍යවසායන්ට මේ සඳහා අයදුම් කළ හැකිය. ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායන් මෙම වැඩසටහනට ඇතුළත් නොවේ.

අයදුම්කරුවන්ගේ සුදුසුකම් සහ කාර්යසාධනය මූල්‍ය වාර්තා, සේවක සංඛ්‍යාව සහ නිෂ්පාදන පරිශ්‍ර පරීක්ෂා කිරීම ඇතුළු අදාළ ඇගයීම් ක්‍රියාවලීන් මත පදනම්ව සලකා බැලේ.

නොමිලේ අයදුම් කළ හැකියි

මෙම වැඩසටහන සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කළ හැකිය. අයදුම්කරුවන් www.ifive.idb.lk නිල වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව අයදුම්පත් සම්පූර්ණ කළ යුතුය.

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026 නොවැම්බර් 09 වන සඳුදා පස්වරු 4.00යි.

මාර්ගගත අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එහි මුද්‍රිත පිටපත අත්සන් කරන ලද ලේඛන සහ අදාළ සාක්ෂි ලේඛන සමඟ නියමිත අවසන් වේලාවට පෙර පහත ලිපිනයට ලැබීමට සැලැස්විය යුතුය.

අධ්‍යක්ෂ – අලෙවි අංශය,

කාර්මික සංවර්ධන මණ්ඩලය,

අංක 615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව.

ප්‍රමුඛ ආයතන රැසක සහයෝගය

මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස CBL සමූහය ද, නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව ද, දැනුම් සහකරු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) ද, නිල ඩිජිටල් පරිවර්තන සහකරු ලෙස Dialog Enterprise ආයතනය ද එක්ව සිටී.