නිමල් රාජපක්ෂ
දරුවන්ගේ අන්තර්ජාල (Online) ආරක්ෂාව සහ ඩිජිටල් සුබසාධනය තහවුරු කිරීම වෙනුවෙන් වන “ජාතික මුලපිරීම” පිළිබඳ මූළික සාකච්ඡාව නොවැම්බර් 02 වන දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙම විෂය පථයට අදාළව ඒකාබද්ධ හා විධිමත් ජාතික රාමුවක් සකස් කිරීමේ අරමුණින්, හඳුනාගත් ප්‍රධාන අමාත්‍යාංශවල වගකීම් සහ ඉදිරි කාර්යභාරයන් පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා මෙම මූලික හමුව කැඳවා තිබුණි.
අන්තර්ජාලය ඔස්සේ දරුවන්ට සිදුවන අපයෝජන, සයිබර් හිංසන සහ විවිධ ඩිජිටල් තර්ජනවලින් ආරක්ෂා කරමින් සුරක්ෂිත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.
ඩිජිටල් ආර්ථික පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ හඳුන්වාදීමේ දේශනය අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා විසින් පවත්වන ලදී.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා මෙසේ පැවසීය.
ඩිජිටල් තාක්ෂණයේ වේගවත් වර්ධනයත් සමඟ දරුවන් නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙනවා. ඒ නිසා තනි තනිව සිදුකරන මැදිහත්වීම්වලින් ඔබ්බට ගොස් රාජ්‍ය ආයතන, විද්වතුන් සහ ජාත්‍යන්තර සංවිධාන එක්කරගත් සක්‍රීය ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. අපගේ ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රධාන තේමා 3 ක් ඔස්සේ සකස් කිරීමට සැලසුම් කර තිබෙනවා. එනම්, බලගැන්වීම, සුරක්ෂිතතාව සහ වගවීම මත පදනම් වූ නිර්මාණය, මෙන්ම ආරක්ෂාව, ප්‍රතිචාර දැක්වීම සහ පාලනයයි.
මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා,
මේ වසර අවසන් වීමට පෙර සියලුම ද්විතීයික පාසල්වලටත්, ලබන වසරේදී ප්‍රාථමික පාසල්වලටත් අන්තර්ජාල පහසුකම් ලබාදීමට රජය පියවර ගනිමින් සිටිනවා. දරුවන්ට තාක්ෂණය හඳුන්වා දෙන අතරම, ඔවුන්ට සුරක්ෂිත ඩිජිටල් වටපිටාවක් තහවුරු කිරීම ද අනිවාර්ය වගකීමක්. එමෙන්ම දකුණු ආසියාතික රටවල් එකතු කරගනිමින් මේ පිළිබඳව කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිපත්තිමය නායකත්වයක් ගැනීමට ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.
මෙම සාකච්ඡාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ යූනිසෙෆ් (UNICEF) සංවිධානයේ නියෝජිතයන් විසින් තාක්ෂණික ඉදිරිපත් කිරීම් සිදු කළ අතර, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ආසිරි හේවාමලගේ මහත්මිය ජාත්‍යන්තර දත්ත හා සාක්ෂි පදනම් කරගත් වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කළාය.
මීට අමතරව, මුළු රාජ්‍ය යන්ත්‍රණයම ආවරණය වන පරිදි සකස් කරන ලද පුළුල් ඩිජිටල් රාමුව පිළිබඳව ආනන්ද ගලප්පත්ති මහතා විසින් පිරිස දැනුවත් කරන ලදී.
මෙහිදී ඩිජිටල් ආර්ථික, සෞඛ්‍ය හා ජනමාධ්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන, කාන්තා හා ළමා කටයුතු, ආරක්ෂක, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු, සහ යෞවන කටයුතු හා ක්‍රීඩා යන අමාත්‍යාංශ යන අමාත්‍යාංශ 7 ක නියෝජිතයෝ
ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය, අභියෝග සහ යෝජිත ක්‍රියාමාර්ග ඉදිරිපත් කළහ.
අනතුරුව, නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිමය කරුණු හා නිරීක්ෂණ ද මෙහිදී සාකච්ඡා වූ අතර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඒ.බී.එම්. අෂ්රෆ් මහතා විසින් දරුවන්ගේ අන්තර්ජාල (Online) ආරක්ෂාව සහ ඩිජිටල් සුබසාධනය තහවුරු කිරීම වෙනුවෙන් වන ඉදිරි වැඩපිළිවෙළ සහ කාලරාමුව පැහැදිලි කළේය.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික, සෞඛ්‍ය, සහ අධ්‍යාපන අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.
