Spread the love

නිමල් රාජපක්ෂ-

ජනතාව මුල් කරගත් සංවර්ධන ක්‍රියාවලියක් සඳහා විශාල ලෙස ආයෝජනය කිරීමට රජය සූදානම් බවත්, ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ඉංජිනේරුවන් ඇතුළු සියලුම වෘත්තිකයින් ඉදිරියට ආ යුතු කාලය උදා වී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

‘ස්මාර්ට් ඉංජිනේරු විද්‍යාව, ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාරභාවය’ (Smart Engineering, Resilience and Sustainability) යන තේමාව යටතේ නොවැම්බර් 11 වන දින, බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවති මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ (CECB) සහ මධ්‍යම ඉංජිනේරු සේවා සමාගමේ (CESL) 2026 සම්මන්ත්‍රණය (CECB-CESL Symposium 2026) අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

ජනතාව මුල් කරගත් සංවර්ධන ක්‍රියාවලියක් සඳහා විශාල ලෙස ආයෝජනය කරන්න රජය සූදානම් වෙනවා. දුරබැහැර ප්‍රදේශවල පාසල් සහ රෝහල් සෑදීම, මාර්ග පද්ධති දියුණු කිරීම වගේම වරාය සහ සාගරික සේවා නැවත නංවාලමින් ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ඉංජිනේරු ක්ෂේත්‍රයේ දායකත්වය අත්‍යවශ්‍යයි. රට ඉදිරියට ගෙන යන්න ඉංජිනේරුවන් ඇතුළු සියලුම වෘත්තිකයන් ඉදිරියට ආ යුතු කාලයකුයි අපි ඉන්නේ.

පරිසරයට වැඩිම බලපෑමක් කරන්නේ ඉංජිනේරු ක්ෂේත්‍රය නිසා, දැනට මුහුණ දෙන කාලගුණික සහ පාරිසරික අභියෝග ගැන විශේෂයෙන් හිතන්න වෙනවා. ගංවතුර වැනි පාරිසරික විපත් දැන් දුර්ලභ නැහැ, ඒවා නිතර ඇතිවෙනවා. ඒ නිසා අපේ නිර්මාණ සහ සැලසුම්වලදී තිරසාර බව සහ ඕනෑම විපතකට ඔරොත්තු දීමේ හැකියාව ගැන දැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒ වගේම AI ඇතුළු නව තාක්ෂණික දියුණුව හමුවේ ඉංජිනේරු අධ්‍යාපනය සහ පුහුණුව අනාගතයට ගැළපෙන විදියට වෙනස් වෙන්න ඕන.

පසුගිය කාලයේ රටේ ඇති වුණු තත්ත්වයත් එක්ක බොහෝ දක්ෂ තරුණ ඉංජිනේරුවන් රට අත්හැර යාම නිසා විශාල පිරිස් හිඟයක් ඇති වෙලා තියෙනවා. රජය යටිතල පහසුකම් සඳහා මුදල් වෙන් කළත්, ව්‍යාපෘති සාර්ථකව නිම කරන්න ප්‍රමාණවත් තාක්ෂණික පිරිසක් නැහැ. ඒ නිසා තරුණ වෘත්තිකයන් රට තුළ රඳවා ගැනීමටත්, ආයතන කෙරෙහි ඔවුන්ව ආකර්ෂණය කර ගැනීමටත් අලුත් විදියට හිතන්න වෙනවා.

ඉංජිනේරුවන් තාක්ෂණික පැත්තට විතරක් සීමා නොවී, ව්‍යාපෘති ඉක්මනින් සහ කාර්යක්ෂමව ඉවර කරන්න පුළුවන් පරිපාලනමය හැකියාවනුත් හදාගන්න ඕනේ.
ඒ වගේම සෑම යටිතල පහසුකමක්ම අවසානයේ භාවිත කරන්නේ සාමාන්‍ය මිනිසුන් නිසා, මිනිසුන්ගේ හැසිරීම් සහ සමාජය ගැන හොඳ අවබෝධයකින් යුතුව නිර්මාණකරණයේ යෙදීම ඉතාම වැදගත් යැයි ද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ, CECE – CESLසභාපති ඉංජිනේරු ඒ. පී. ජයතිස්ස, CECB සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු එස්. ඒ. යු. ඩී. සී. සිරිවර්ධන යන මහතවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ඉංජිනේරුවන් අරතුළු පිරිසක් එක්ව සිටියහ.