නිමල් රාජපක්ෂ –
“විද්‍යාත්මක සොයාගැනීමක් පර්යේෂණ ප්රකාශනයකට හෝ නව නිපැයුමක මූලාකෘතියකට පමණක් සීමා නොවිය යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන ප්‍රකාශ කරයි.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ජාතික විද්‍යා සතිය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ “විද්‍යාව වෙළෙඳපොළට – 2026” (Science-to-Market – 2026) ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස අද පෙරවරුවේ එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී නොවැම්බර් 15 දින දක්වා පැවැත්වේ.
වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ පර්යේෂකයන් සහ පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල, නව නිපැයුම්කරුවන්, නවෝත්පාදකයන්, ව්‍යවසායකයන් ආශ්‍රිතව බිහිවන නවෝත්පාදන, පෞද්ගලික අංශයේ ආයෝජකයන්, අපනයනකරුවන් සහ කර්මාන්ත ක්ෂේත්රයේ නියෝජිතයන් සමඟ අර්ථවත්ව සම්බන්ධ කිරීමයි.
පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, පර්යේෂකයන්, නව නිපැයුම්කරුවන්, ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් එකම වේදිකාවකට එක් කරමින් පර්යේෂණ මත පදනම් වූ තාක්ෂණික නිර්මාණ සහ නවෝත්පාදන මූලාකෘති (Prototypes) ප්‍රදර්ශනය කිරීම මෙන්ම ව්‍යාපාරික සබඳතා සහ හවුල්කාරිත්වයන් ගොඩනැඟීම සඳහා පහසුකම් සැලසීම තුළින් පර්යේෂණ සහ ඒවාහි වාණිජමය භාවිතය අතර පවතින පරතරය අවම කිරීම ද මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“විද්‍යාත්මක සොයාගැනීමක් පර්යේෂණ ප්රකාශනයකට හෝ නව නිපැයුමක මූලාකෘතියකට පමණක් සීමා නොවිය යුතුයි. එවැනි නවෝත්පාදන තවදුරටත් සංවර්ධනය කිරීමටත්, අවසානයේ වෙළෙඳපොළ තුළ සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි නිෂ්පාදන සහ සේවා බවට පත් කිරීමටත් අවශ්‍ය පරිසරයක් අපි නිර්මාණය කරනවා. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම, ඵලදායිතාව ඉහළ නැංවීම මෙන්ම අනවශ්‍ය ලෙස ආනයනික තාක්ෂණයන් මත රඳා පැවතීම අවම කිරීමට දේශීය කර්මාන්ත ජාත්‍යන්තර වෙළෙඳපොළට විවෘත කිරීම වැදගත් වෙනවා. ඒ සඳහා අවස්ථා නිර්මාණයට රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යයන ක්ෂේත්රය එකට එක්ව කටයුතු කළ යුතුයි. පර්යේෂණ ආයතන කර්මාන්ත ක්ෂේත්රයේ තාක්ෂණික අවශ්‍යතා වඩාත් හොඳින් හඳුනාගත යුතු අතර, ව්‍යාපාරික ප්‍රජාව දේශීය පර්යේෂණ සහ නවෝත්පාදන තුළ පවතින වාණිජමය විභවයන් හඳුනාගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීමට ඉදිරිපත් යුතුයි.”
“
