නිමල් රාජපක්ෂ-
ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය ඊයේ (14) පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම ශිෂ්‍යත්ව ප්රදානය, 2006 වසරේ ආරම්භ කළ වැඩසටහනේ වසර 20ක ඉතිහාසය තුළ එක් වසරකදී වැඩිම ශිෂ්‍යත්ව සංඛ්‍යාවක් පිරිනැමූ අවස්ථාව ලෙස වාර්තා වේ. ඒ අනුව, වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා ශිෂ්‍යත්ව 1,233ක් පිරිනමා තිබේ.
මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කරමින් ගුණාත්මක හා වගකීම්සහගත ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. ඒ යටතේ මෙවර ප්‍රථම වරට ආචාර්ය උපාධි පාඨමාලා සඳහා ද ශිෂ්‍යත්ව පිරිනැමීම විශේෂත්වයකි. ආචාර්ය උපාධි සඳහා රුපියල් ලක්ෂ 7ක් දක්වා ද, පශ්චාත් උපාධි හා සාමාන්‍ය උපාධි සඳහා රුපියල් ලක්ෂ 3.5ක් දක්වා ද, ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ 2ක් දක්වා ද මූල්‍ය ආධාර ලබාදීමට නියමිතය.
ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීම තාක්ෂණික සුදුසුකම් හා සම්මුඛ පරීක්ෂණ මත පදනම්ව සිදු කළ බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළාය. මාධ්‍යවේදීන් වෘත්තීය ආචාරධර්ම ආරක්ෂා කරමින් ගුණාත්මක හා වගකීම්සහගත මාධ්‍යකරණයක නිරත වීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළාය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දුන්නේ තොරතුරු තාක්ෂණයේ වේගවත් වෙනස්වීම් හමුවේ මාධ්‍යවේදීන් විධිමත් අධ්‍යාපනයකින් හා තාක්ෂණික දැනුමකින් සන්නද්ධ වීම අත්‍යවශ්‍ය බවයි. තරුණ පරපුරේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා පාසල් මාධ්‍ය ඒකක ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
