Spread the love

නිමල් රාජපක්ෂ –

සියලුම රාජ්‍ය සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ තුන්වන වැටුප් වැඩිවීම ලබන වසරේ ජනවාරි මාසයේදී ලබා දෙන බවත්, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී විපක්ෂය පෞද්ගලික මට්ටමින් අසත්‍ය කරුණු සමාජගත කිරීම ගැන කණගාටු වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විශේෂ වියදම් ඒකක සඳහා වන 2027 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් නොවැම්බර් 21 දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

රාජ්‍ය සේවක වැටුප්, ජනාධිපති අරමුදලේ ප්‍රගතිය, අධ්‍යාපන සුබසාධනය සහ ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී කරුණු පැහැදිලි කළාය.

මූලික වැටුප අදියර තුනකින් ඉහළ දැමීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2025 සහ 2026 වසරවලදී පළමු සහ දෙවන අදියර ක්‍රියාත්මක කළ බව සඳහන් කළ අග්‍රාමාත්‍යතුමිය, සියලුම රාජ්‍ය සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ තුන්වන වැටුප් වැඩිවීම 2027 ජනවාරි මාසයේදී ලබා දෙන බව පැවසුවාය. එමෙන්ම, පවතින වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා නිරාකරණය කිරීමට පත් කළ විශේෂ කොමිසමේ වාර්තාව 2027 ජූලි මාසයේදී ලැබීමට නියමිත බවත්, එහි නිර්දේශ මත එම විෂමතා නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කළාය.

ජනාධිපති අරමුදලේ සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ විමධ්‍යගත කිරීම හේතුවෙන්, 2025 වසරේදී 1,664ක්ව පැවති ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2026 වන විට 27,948 දක්වා ඉහළ ගොස් තිබන බවත් , විනිවිදභාවයෙන් යුත් පාලනය නිසා පසුගිය වසර දෙක තුළ මූල්‍ය ශක්තිය සියයට 150කින් වර්ධනය වී ඇති බවද අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

මීට අමතරව විශ්වවිද්‍යාල සිසුන්ට ඇස් කණ්ණාඩි 2,000කට ආසන්න ප්‍රමාණයක් බෙදා දී ඇති අතර, රජයේ රෝහල්වල ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් පෝලිම් අඩු කිරීම වෙනුවෙන් හම්බන්තොට මහ රෝහලේ 570 දෙනකුට සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ 600 දෙනකුට පහසුකම් සලසා දී ඇති බවද අග්‍රාමාත්‍යතුමිය සදහන් කළාය.

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍ය දීමනාව සියයට 100කින් ඉහළ නංවා ඇති අතර පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණ යෝජනාක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යමින් එහි ප්‍රතිලාභ සහ ආවරණය වන රෝගී තත්ත්වයන් පුළුල් කර ඇති බවද අග්‍රාමාත්‍යතුමිය කියා සිටියාය.

අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ අධ්‍යාපනය පිළිබඳ ඩිජිටල් කාර්යසාධක බලකායක් පිහිටුවා සක්‍රීයව ක්‍රියාත්මක කෙරෙන අතර, මහජන පැමිණිලි සඳහා විධිමත් පසු විපරම් (Follow-up) ක්‍රියාවලියක් ක්‍රියාත්මක බව ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

පාසල් ප්‍රජාව සහ අනෙකුත් අමාත්‍යාංශ එක් කරගනිමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ක්‍රියාත්මක වන බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය, ජනාධිපති කාර්යාලයේ නාස්තිය හා දූෂණය අවම කරමින් සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම, සංචාරක සංවර්ධනය සහ ආගමික නායකයන් සමඟ සංවාද ඔස්සේ සාමය හා සංහිඳියාව තහවුරු කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළාය.

17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවූ ස්වාධීන කොමිෂන් සභාවලට සුදුසු සාමාජිකයන් පත් කර ඇති බවත්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ පැමිණිලි විමර්ශන ප්‍රතිශතය වසරින් වසර ඉහළ ගොස් ඇති බවත්, මානව හිමිකම් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභා ප්‍රතිපත්ති සම්පාදනයට හා ගැටලු විසඳීමට සක්‍රීයව දායක වන බවත් අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

විපක්ෂයේ සාධනීය හා ගෞරවාන්විත විවේචන රජය සැමවිටම පිළිගන්නා නමුත්, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පෞද්ගලික මට්ටමින් අසත්‍ය කරුණු සමාජගත කිරීම කණගාටුදායක බව ද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය. රට පරිවර්තනීය ගමනක යන මෙවැනි මොහොතක විපක්ෂය ශිෂ්ට සම්පන්නව හා වගකීම්සහගතව කටයුතු කරනු ඇතැයි රජය අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් කියා සිටියාය.