නිමල් රාජපක්ෂ-
“වසර 12ක් පුරා තාවකාලික නිවාසවල ජීවත් වූ ජනතාවට තමන්ගේම නිවසක් ඉදිකර දීමට හැකිවීමත්, අද එම නිවාස සඳහා මුල්ගල් තැබීමට ලැබීමත් සතුටට කරුණක් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පැවසීය.
ඇමතිවරයා මෙම අදහස් පලකලේ පුරා වසර ගණනාවක් ලයින් කාමර වල සිටි ජනතාවට ස්ථිර නිවසක් තනා දීම සදහා මුල්ගල තබන අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා, අද මුල්ගල් තබා සතුටු වනවාටත් වඩා මා සතුටු වන්නේ මෙම පවුල් දරු පැටවුන් සමඟ තමන්ගේම නිවාසවල පදිංචි වන දිනය දැකීමටයි. ඒ දිනය තවත් බොහෝ දුරට යන්නේ නැහැ. ලබන මැයි මාසය වන විට ඔවුන් එම නිවාසවල පදිංචි කිරීමට අපේක්ෂා කරනවා. මේ සඳහා කොන්ත්‍රාත්කරුට ලබාදී ඇති කාලය මාස හයක්” යැයිද කීවේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, 2014 වසරේ සිදුවූ ස්වාභාවික ආපදාවක් හේතුවෙන් සිය ලයින් නිවාස අහිමි වූ පවුල් 09ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම ආරම්භ කරමින්, එම නිවාස සඳහා මුල්ගල් තැබීම ඊයේ (22) නුවරඑළිය දිස්ත්‍රික්කයේ, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පීඩෲ වතුයායේදී සිදුකළ අවස්ථාවේදීය.
මෙම අවස්ථාව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි ද ඊට එක්ව සිටියහ.
2014 වසරේ සිදුවූ ස්වාභාවික ආපදාව හේතුවෙන් සිය නිවාස අහිමි වූ මෙම පවුල්වලට වසර 12කට ආසන්න කාලයක් ගතවී ඇතත් ස්ථිර නිවාසයක හිමිකම ලබාගැනීමට අවස්ථාව ලැබී නොතිබිණි. ඒ වෙනුවට තාවකාලිකව තහඩු යොදා සකස් කරගත් නිවාසවල ජීවත්වීමට ඔවුන්ට සිදුව තිබූ අතර, වසර ගණනාවක් පුරා තමන්ටම කියා නිවසක ජීවත්වීමේ බලාපොරොත්තුවෙන් ඔවුහු පසුවූහ.
මුල් ගල් තැබිමේ අවස්ථාවෙන් පසු අමාත්‍යවරයා, වසර ගණනාවක් පුරා අදාළ පවුල් ජීවත්වන තාවකාලික නිවාස නිරීක්ෂණය කිරීමට ද කටයුතු කළේය.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අරමුණු යථාර්ථයක් බවට පත් කරමින්, මලයගම් ජනතාවගේ නිවාස ගැටලුවට ස්ථිර විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ඉන්දීය රජයේ මූල්‍ය ආධාර සහ ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය මත ක්‍රියාත්මක ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ මෙම නිවාස ඉදිකෙරේ. එම අදියර යටතේ නිවාස 10,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 32ක මුදලක් වැය කෙරෙන අතර, පර්චස් 10ක භූමි ප්‍රමාණයක ඉදිකෙරෙන මෙම නිවාස මාර්ග, පානීය ජලය සහ විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලින් ද සමන්විත වේ. නිවාස 09 ඉදිකිරීම සඳහා වැය කිරීමට නියමිත සමස්ත මුදල රුපියල් ලක්ෂ 288කි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මේ දෙසැම්බර් මාසය අවසන් වන විට මලයගම් ප්‍රජාව වෙනුවෙන් නිවාස 1,000කට මුල්ගල් තැබීමට අපි කටයුතු කරනවා. ඒ වගේම මේ දෙසැම්බර් මාසය තුළම මලයගම් ජනතාවට ලබාදීමට නියමිත තවත් නිවාස 1,000ක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතිනවා. ඒ අනුව වෙන කවරදාටත් වඩා වේගයෙන් අද නිවාස ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් පවතින.බවද පැවසුවේය.
