නිමල් රාජපක්ෂ
මෙරට ප්‍රථම විස්තීර්ණ ජාතික බැටරි පරීක්ෂණ සේවාව ලෙස ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (NERDC) ස්ථාපිත කළ ‘විද්‍යුත් සංචලන සහ බැටරි තාක්ෂණ මධ්‍යස්ථානය’ (Centre for E-Mobility and Battery Technology) විවෘත කිරීම අද දින (23) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම විශේෂිත රසායනාගාර පහසුකම ස්ථාපිත කිරීමට වැය කර ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 161.5 කි. ඒ සඳහා රජයේ “ජාතික තත්ත්ව යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ (NQI)” ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 118 ක් සහ NERDC ආයතනයේ අරමුදල්වලින් රුපියල් මිලියන 43.5 ක් ආයෝජනය සිදු කර තිබේ.
සාම්ප්‍රදායික බැටරි ඇගයීම්වලින් ඔබ්බට ගොස් නවීන බැටරි තාක්ෂණයන් දක්වා රටේ පරීක්ෂණ හැකියාවන් පුළුල් කිරීමේ අරමුණින් නව විදුලි සංචලන සහ බැටරි තාක්ෂණ මධ්‍යස්ථානය සංවර්ධනය කර තිබේ. එය ශ්‍රී ලංකාවේ තත්ත්ව යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ සහ විදුලි ප්‍රවාහනය හා පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් කරා යන ගමනට සහාය වීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.
රට තුළම නිෂ්පාදන සංවර්ධනය, දේශීය අගය එකතු කිරීම් සහ විශේෂිත පරීක්ෂණ සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම මගින් දේශීය නිෂ්පාදකයින්, ආනයනකරුවන්, පර්යේෂකයින් සහ තාක්ෂණ සංවර්ධකයින් හට ප්රතිලාභ සැලසීමේ හැකියාව මෙම පහසුකම සතුව ඇත.
මෙම නව මධ්‍යස්ථානය මගින් විවිධ වර්ගයේ බැටරි සහ බැටරි පද්ධතිවල ක්‍රියාකාරීත්වය, ධාරිතාව, කල්පැවැත්ම සහ ආරක්ෂාව ඇගයීම සඳහා නවීන පරීක්ෂණ පහසුකම් සපයා තිබේ. එසේම විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ බැටරිවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සහ විද්‍යුත් වාහන ආරෝපණ උපකරණ ආශ්රිත පරීක්ෂණ සිදු කිරීම ඇතුළු පහසුකම් රැසක් මෙහි ස්ථාපිත කර තිබේ.
මෙහි දී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“අපේ අරමුණ විදේශීය තාක්ෂණය ආනයනය කිරීමට පමණක් සීමා නොවී එම තාක්ෂණයන් පරීක්ෂා කිරීමට, ඇගයීමට, වැඩිදියුණු කිරීමට සහ අපේ රටට ගැළපෙන නව තාක්ෂණික විසඳුම් සංවර්ධනය කිරීමට අවශ්‍ය දැනුම හා පහසුකම් රට තුළම ගොඩනැගීමයි.
මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක හා තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීමට, දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට සහ අනාගත බලශක්ති හා ප්‍රවාහන ක්ෂේත්රයේ තාක්ෂණික පරිවර්තනයට රට සූදානම් කිරීමේ වැදගත් පියවරක් වෙනවා. රජයේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවන් අතර පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය, බලශක්ති කාර්යක්ෂමතාව සහ තිරසර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම ප්‍රධාන ස්ථානයක් ගන්නවා. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බලශක්තිය ගබඩා කිරීමේ නවීන බැටරි තාක්ෂණය සහ විද්‍යුත් ප්‍රවාහන විසඳුම් ඉතා වැදගත් වෙනවා.”
“බැටරි තාක්ෂණයේ දියුණුව සමඟ බැටරි ආරක්ෂාව සහ පරිසර ආරක්ෂණය පිළිබඳව ද අප විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ගුණාත්මක බවින් ඉහල බැටරි ආනයනය, භාවිතයෙන් ඉවත් කරන බැටරි නිසි ලෙස කළමනාකරණය කිරීම, නැවත භාවිතයට ගැනීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ද අප වර්ධනය කළ යුතුයි. තාක්ෂණික සංවර්ධනයේදී ආර්ථික ප්රතිලාභ මෙන්ම පාරිසරික වගකීම ද එකසේ වැදගත් වෙනවා. ”
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, නර්ඩ් ආයතනයේ සභාපති ආචාර්ය චිත්‍රාල් අඹවත්ත, අධ්යක්ෂ ජනරාල් (වැ.බ.) මනෝජ් කරුණාරත්න යන මහත්වරුන්, ඉංජිනේරුවන්, තාක්ෂණවේදීන්, දේශීය හා විදේශීය කර්මාන්ත ක්ෂේත්රයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
