Spread the love

නිමල් රාජපක්ෂ 

​දේශීය සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ උක් කර්මාන්තය ඵලදායී, තරගකාරී මෙන්ම තිරසාර කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා රජය සහ බ්‍රසීල රජය අතර නව තාක්ෂණික සහයෝගීතා ගිවිසුමකට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි.

​මෙම උක් සංවර්ධන ව්‍යාපෘතිය මාස 36ක කාලයක් පුරා ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා ඇස්තමේන්තුගත මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් 536,046කි. බ්‍රසීල රජයේ ප්‍රධාන මූල්‍ය දායකත්වය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා බ්‍රසීල සහයෝගීතා නියෝජිතායතනය (Brazilian Cooperation Agency) සහ සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය (Federal University of São Carlos) සෘජු තාක්ෂණික සහ පර්යේෂණ දායකත්වය සපයයි.

​ශ්‍රී ලංකාව වර්තමානයේ සිය සීනි අවශ්‍යතාවයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරන බැවින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ඇදී යන අතර, දේශීය නිෂ්පාදනය ශක්තිමත් කිරීම තුළින් ආනයනික සීනි මත යැපීම අවම කර විදේශ විනිමය ඉතිරි කර ගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික ඉලක්කයයි. එමෙන්ම, දේශීය උක් කර්මාන්තය මුහුණ දෙන අඩු ඵලදායීතාව, අඩු සීනි ප්‍රතිසාධන අනුපාතය සහ ඉහළ නිෂ්පාදන පිරිවැය වැනි අභියෝග ජය ගැනීමට ලොව ප්‍රමුඛතම උක් නිෂ්පාදකයෙකු වන බ්‍රසීලයේ නවීන කෘෂිකාර්මික භාවිතයන්, පර්යේෂණ හැකියාවන් සහ තාක්ෂණික දැනුම මෙරටට ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

​මීට අමතරව, පුහුණු වැඩසටහන් සහ දැනුම හුවමාරුව හරහා ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීම, උක් අතුරු නිෂ්පාදන ඵලදායී ලෙස භාවිතා කරමින් අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ දේශීය ගොවීන්ට හා කර්මාන්තකරුවන්ට වැඩි ආර්ථික අවස්ථා නිර්මාණය කර දෙමින් ග්‍රාමීය ආර්ථිකය වේගවත්ව නගා සිටුවීම මෙම සහයෝගීතාවය හරහා සිදු කෙරේ.

​අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති ජෝර්ජ් ජෙරාල්ඩෝ කාද්රි මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවට, බ්‍රසීල තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, බ්‍රසීල සහයෝගීතා නියෝජිතායතනයේ සහ සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලයේ නියෝජිතයින්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

​දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් අත්සන් තැබුණු මෙම ගිවිසුම, තිරසාර ආර්ථික සංවර්ධනයක් කරා යන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.