නිමල් රාජපක්ෂ-
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන “Clean Sri Lanka” ජාතික වැඩසටහනේ තවත් වැදගත් පියවරක් ලෙස, කාත්තන්කුඩි නගර සභා බල ප්‍රදේශයේ ඉදිකරන ලද ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය (Material Recovery Facility – MRF) විවෘත කිරීමේ නිල උත්සවය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සහ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කාත්තන්කුඩි නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය වශයෙන් පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක වන Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ තෝරාගත් පළාත් පාලන ආයතනවල ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ යටතේ කාත්තන්කුඩි නගර සභාව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
ඉවතලන නොදිරන අපද්‍රව්‍ය විධිමත්ව කළමනාකරණය කරමින් ඒවා පරිසරයට අවිධිමත්ව බැහැර කිරීම අවම කිරීම මෙම ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ වේ. ඒ තුළින් ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීම, පරිසර දූෂණය අවම කිරීම, කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නැවත ලබාදීම සහ නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම මෙන්ම ගෝලීය තිරසර සංවර්ධන ඉලක්කවලට අනුකූලව චක්‍රීය ආර්ථිකයක් (Circular Economy) ගොඩනැගීමට ද දායකත්වය සැපයීම අපේක්ෂා කෙරේ.
එමෙන්ම, අපද්‍රව්‍ය කළමනාකරණයේදී අඩු කිරීම (Reduce), නැවත භාවිතය (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) යන 3R සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම ද මෙම වැඩසටහනේ වැදගත් අරමුණකි. ඒ අනුව, නිවෙස්වලින් නිසි පරිදි වෙන් කර ලබාදෙන ප්ලාස්ටික්, පොලිතින්, වීදුරු ඇතුළු ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය විධිමත්ව එකතු කර, වෙන් කර හා කළමනාකරණය කිරීමට මෙම මධ්‍යස්ථානය මගින් පහසුකම් සැලසෙනු ඇත.
ප්‍රදේශයේ ජනතාවගේ සක්‍රීය සහභාගිත්වය ඇතිව පිරිසිදු සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම ද මෙම ව්‍යාපෘතිය තුළින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කරමින් පිරිසිදු නගර පරිසරයක් සහ වඩාත් වගකීම්සහගත පුරවැසි සමාජයක් ගොඩනැගීම සඳහා මෙම ව්‍යාපෘතිය වැදගත් පියවරක් වනු ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී කන්තසාමි ප්‍රභු මහතා අතුළු පළාතේ මහජන නියෝජිතයින්ද, ජනාධිපති අතිරේක ලේකම් (Clean Sri Lanka) ඉංජිනේරු එස්.පී.සී. සුගීශ්වර, කාත්තන්කුඩි නගර සභාවේ සභාපති එස්.එච්.එම්. අස්පර්, කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් නිහාරා මවුජූඩ්, Clean Sri Lanka වැඩසටහනේ පරිසර අධ්යක්ෂ ඉංජිනේරු අංජුල ප්‍රේමරතන, සම්බන්ධීකරණ අධ්යක්ෂ ඩබ්ලිව්.ඒ. දසුන් විජේසේකර, නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති සහ කාත්තන්කුඩි Clean Sri Lanka ප්‍රාදේශීය සම්බන්ධීකාරක එම්.බී.එම්. ෆිර්තවුස් නලීමි සහ නැගෙනහිර පළාත් සහ මඩකලපුව දිස්ත්‍රික් Clean Sri Lanka සම්බන්ධීකාරක ෆේබියන් ඇන්තනි බර්තලොට් යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය නිලධාරීන්, පළාත් පාලන නියෝජිතයන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
