Spread the love

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අද දින(9) යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) ඉන්දු-පැසිෆික් කලාපය සඳහා වන යුරෝපා සංගම් විශේෂ නියෝජිත මාරියා කැස්ටිලෝ ෆර්නැන්ඩස් මහත්මිය ඇයගේ  ශ්‍රී ලංකාවේ නිල සංචාරය අතරතුර හමුවිය.

2925 නොවැම්බර් මාසයේදී  බ්‍රසල්ස්හි පැවති  04 වන යුරෝපා සංගම් ඉන්දු-පැසිෆික් අමාත්‍ය සංසදයේදී ඇතිවූ සාකච්ඡා මත පදනම්ව, මෙම හමුවේදී දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.

මෙහිදී ඉන්දියානු සාගරය හා ඉන්දු-පැසිෆික් කලාපය තුළ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම, ගෝලීය සම්බන්ධතා, වෙළඳාම සහ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.

එමෙන්ම සමුද්‍රීය ආරක්ෂාව සහ නාවික ගමනාගමන කටයුතු  ආරක්ෂා කිරීමේදී UNCLOS සම්මුතියේ වැදගත්කම නැවත තහවුරු කරමින්, CRIMARIO සහ IORIS වැනි කලාපීය මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

බලශක්ති ආරක්ෂාව සහ ගෝලීය සම්බන්ධතාව ආරක්ෂා කිරීම පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත් අතර, මැද පෙරදිග වත්මන් තත්ත්වය සහ  බලශක්ති ආරක්ෂාව, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය හා ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි ඇති බලපෑම් පිළිබඳව ද අවධානය යොමු විය.

විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය, හරිත බලශක්තිය සහ සම්බන්ධතා ආශ්‍රිත ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව තුළ යුරෝපා සංගම් ආයෝජන වැඩි කිරීමේ හැකියාව පිළිබඳව ද යුරෝපා සංගම් විශේෂ නියෝජිතවරිය සඳහන් කළාය. ගෝලීය අභියෝග හමුවේ හවුල්කාරිත්වයන් විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම ද එතුමිය  අවධාරණය කළාය.

නව රෙගුලාසි යටතේ ශ්‍රී ලංකාව GSP+ යෝජනා ක්‍රමයට නැවත අයදුම් කිරීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා  විසින් පැහැදිලි කළ අතර, නීතියේ ආධිපත්‍යය, යහපාලනය සහ මානව හිමිකම් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම නැවත තහවුරු කළේය.

මැයි 9 වන දින සමරනු ලබන යුරෝපීය දිනය නිමිත්තෙන් විශේෂ නියෝජිතවරියට සහ ඇයගේ දූත පිරිසට සුබ පැතුම් ද එක් කරනු ලැබීය.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි ගරු කාමන් මොරෙනෝ මහත්මිය, කොළඹ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගී වූහ.