Spread the love

නිමල් රාජපක්ෂ

මහල් නිවාස සංකීර්ණවල පදිංචි අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති සුබසාධන වැඩපිළිවෙලෙහි තවත් තිරසර ඉදිරි පියවරක් ලෙස මෙම ‘Metro Uplift’ ජාතික වැඩසටහන ඊයේ දින (.31) නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නව, සාලමුල්ල, ‘ලක්සඳ සෙවණ’ නිවාස සංකීර්ණයේ දී නිල වශයෙන් ආරම්භ කෙරිණ.

මෙම ‘Metro Uplift’ සමාජ සුබසාධන ජාතික වැඩසටහන යටතේ 2026 වසර තුළ ප්‍රතිසංවිධාන රැසක් සිදුකිරීමට සැලසුම් කර ඇත. කොලොන්නාව ලක්සඳ සෙවණේ නවීකරණ කටයුතු සඳහා මෙම වර්ෂයට රුපියල් ලක්ෂ 1,288.7 ක් වෙන්කොට ඇත.

මෙම නවීකරණ යටතේ හානි වූ විදුලි සෝපාන අලුත්වැඩියාව, අලුතින් විදුලි සෝපානයක් ස්ථාපිත කිරීම, හානියට පත් නිවාස ඒකක දෙකක් පිළිසකර කිරීම, ළමා උද්‍යානය වැඩිදියුණු කිරීම, කසල කළමනාකරණය විධිමත් කිරීම, B සහ C ගොඩනැගිලිවල පොදු කවුළු, ආරක්ෂිත වැට අලුත්වැඩියාව සහ ගේට්ටු සවිකිරීම, A ගොඩනැගිල්ලේ කොරිඩෝ සදහා නව කාණු පද්ධතියක් ස්ථාපිත කර බාහිර බිත්ති පින්තාරු කිරීම, ප්‍රජා සවිබල ගැන්වීම වෙනුවෙන් සමාජ සජීවීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.

” Metro Uplift ” ජාතික වැඩසටහනේ සමාරම්භයට එක්වූ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අදහස් දක්වමින් ;

“වත්මන් රජය බලයට පත්වූ විගස මෙම මහල් නිවාසවල තත්ත්වය සොයා බලන්න අපි කටයුතු කලා. මේ තත්ත්වය සියැසින් දැක්කා. මේවා තිබුණේ ජීවත්විය හැකි තැන් ලෙස නොවෙයි. විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග සාකච්ඡා කර නිලධාරීන් ඒකරාශී කරමින් තිරසර වැඩසටහනක් හදන්න ආරම්භ කලා. බිත්ති හයකට කොටුවෙලා තිබූ ජීවිත යළි ගොඩනැංවීමේ මෙහෙයුම ආරම්භ කලා. අද එය යතාර්ථයක් කරගන්න හැකිවෙලා තියෙනවා. රජය මේ නව වැඩපිළිවෙලින් කරන්නේ බිත්ති හයක් අළුත්වැඩියා කිරීමක් පමණක් නොවෙයි. එහි ජීවත්වන ඔබගේ දුවගේ, පුතාගේ අනාගතය ලස්සන කරන එකයි; ආරක්ෂිත තැනක් බවට පත්කරන එකයි.

ජනතාවට අලුත් දිවියක් ලබාදෙන්න මේ වැඩපිළිවෙල, යතාර්ථයක් කරන්න අපේ නිලධාරීන් පොත් 24 ක් මුද්‍රණය කර තිබෙනවා. නිලධාරීන් විදියට විශාල කැපවීමකින් මීට සම්බන්ධ වුණා. ඒ අධ්‍යයනවලට අනුව මේ වැඩපිළිවෙල ඇරඹුවා; පොත් ටික පුස්තකාලවලට යවන් නැතුව. පොත්වලින් නිර්දේශ කරපු දේවල් පිටුවෙන් පිටුව ඉටු කරනවා. එහෙම කරන්නෙ ඔබේ මුදල් මහා භාණ්ඩාගාරයේ ඉතිරි කරගත්ත නිසා. අපේ ආණ්ඩුව වංචා, දූෂණ, හොරකම් නොකර, අදූෂිත දේශපාලන තන්ත්‍රයක් තුල මේ මුදල් ඉතිරි කරගත්තා. බදු මුදල්වලින් භාණ්ඩාගාරය පුරවලා ඒවායින් උපරිම සහන ලබාදෙනවා. එම මුදල් දුම් අල්ලන්න තියාගන්නේ නෑ.