නිමල් රාජපක්ෂ
රටේ පොදු ප්‍රවාහන සේවාව බිද වැටීමකින් තොරව අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය වන මානව හා භෞතික සම්පත් වර්ධනය කරමින් ක්ෂේත්රයේ යටිතල පහසුකම් පද්ධතිය ක්‍රමිකව ගොඩනැංවීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ තිරසර ක්‍රියාමාර්ග රැසක් මේවනවිට ක්‍රියාත්මක කරමින් පවතී.
එහිදී ප්‍රධාන ධාරාවෙි ප්‍රවාහන සේවා සපයනු ලබන දුම්රිය, ලංගම සහ පෞද්ගලික බස් සේවාවන් කාර්යක්ෂමව, විධිමත්ව පවත්වාගෙන යාමට ලබාදෙන සුබසාධන අනුග්රහයන් ත්‍රිරෝද රථ, කුලී රථ සේවා ඇතුළු රාජ්‍ය අංශයේ නොවන ප්‍රවාහන මාධ්‍යයන් සදහා ද ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.
ඒ යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි ප්‍රවාහන සේවාවන්හි නියැලෙන රාජ්‍ය අංශයේ නොවන සේවක කණ්ඩායම් සදහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය (ETF) යටතේ ලියාපදිංචි කිරීමට අදාල උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සමග පැවති සාකච්ඡා වාර කිහිපයක් අනතුරුව රාජ්‍ය අංශයට අයත් නොවන පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ සේවක කණ්ඩායම් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය (ETF) යටතේ ලියාපදිංචි කර ඔවුන්ට ප්රතිලාභ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සුදුසු නීතිමය රාමුවත් සකස් කිරීමට යෝජනා වූ අතර ඊට අදාලව සකසක ලද සංකල්ප පත්‍රය (Concept Paper) සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය වෙත යොමු කෙරිණ.
ඊට අදාලව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය අතර අවබෝධතාවන්ට අදාල ගිවිසුම් ගතවීම (MOU) 2026.03.10 වන දින කොළඹ 01, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
