නීමල් රාජපක්ෂ
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් නාත්තන්ඩිය මහවැව – හොරකැලේ වත්ත ගොවිපොළ පරිශ්‍රයේ පිහිටා ඇති වටිනා සිලිකා වැලි නිධිය ආශ්‍රිතව “Silicone City” නමින් නවීන කර්මාන්තපුරයක් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (8) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ක්ෂේත්රයට අදාළ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී මෙරට ඛනිජ සම්පත් උපරිම අගය එකතු කිරීමකින් යුතුව (Value Addition) ජාතික ආර්ථිකයට දායක කරගැනීම පිළිබඳව දීර්ඝව කරුණු විශ්ලේෂණය කෙරිණි.
මෙහිදී ප්‍රධාන වශයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය (GSMB) හරහා හොරකැලේ ගොවිපොළ ඉඩමෙහි සහ ඒ ආශ්‍රිතව ඇති සිලිකා වැලි නිධියේ නිශ්චිත ධාරිතාව හා ප්‍රමාණය කඩිනමින් ගණනය කිරීමට පියවර ගැනීමට එකඟතාව පළ විය. ඉන් අනතුරුව, මෙම ප්‍රදේශයේ පවතින සිලිකා වැලි මෙන්ම දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් ලබාගත හැකි උසස් තත්ත්වයේ ධමනි තිරිවානා (Vein Quartz) ද උපයෝගී කරගනිමින්, සිලිකන් ආශ්රිත නිපැයුම් සඳහාම වෙන්වූ සුවිශේෂී කර්මාන්තපුරයක් නාත්තන්ඩිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට ද මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු විය.
මේ අතර පරිසර ආරක්ෂණය මූලික කරගනිමින්, වඩාත් ඵලදායී සිලිකන් කර්මාන්ත හඳුනාගැනීම, විදේශීය හා දේශීය ආයෝජකයින් ආකර්ෂණය කරගැනීම සහ සමස්ත ව්‍යාපෘතිය නියාමනය කිරීම සඳහා අදාළ සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් විශේෂ කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.
මෙම සමස්ත ව්‍යාපෘතිය හරහා පරිසර පද්ධතියට හානියක් නොවන පරිදි, නවීන තාක්ෂණය භාවිත කරමින් අපේ රටේ ඛනිජ සම්පත්වලින් උපරිම ඵල නෙළා ගැනීමට අපේක්ෂිත අතර, එමඟින් පුත්තලම දිස්ත්‍රික්කය තුළ සෘජු හා වක්‍ර රැකියා අවස්ථා රැසක් බිහි කරමින් මෙරට කාර්මික අංශයේ දැවැන්ත පිම්මක් සනිටුහන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ
