නිමල් රාජපක්ෂ-
අනාගත ලෝකය ජයගත හැකි නිපුණතා සපිරි මානව සම්පතක් රට තුළ ගොඩනැගීමේ උදාර අරමුණ පෙරදැරිව, අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය සහ කෘෂි අංශික නිපුණතා සභාව එක්ව සංවිධානය කරන ‘Skill Expo 2026’ දැවැන්ත ප්රදර්ශනය මෙම ඔක්තෝබර් 23, 24 සහ 25 යන තෙදින පුරා කොළඹ විහාරමහාදේවී උද්යානය සහ හරිත මාවත (Green Path) කේන්ද්ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
අද වන විට රට තුළ විවිධ ක්ෂේත්රයන්හි රැකියා අවස්ථා සහ දැවැන්ත ඉල්ලුමක් නිර්මාණය වෙමින් පැවතුණ ද, ඒ සඳහා ගැළපෙන නිපුණතා සපිරි මානව සම්පතක් නොමැතිකමේ අභියෝගයට අප මුහුණ දී සිටිමු. අපේක්ෂිත අධ්යාපනය සහ වෙළඳපොළ ඉල්ලුම අතර පවතින මෙම නොගැළපීම දුරු කරමින්, පාසල් දරුවන් සහ තරුණ ප්රජාව සවිඥානික කර, ඔවුන් පූර්ණ ඵලදායී රැකියා නියුක්තිකයන් බවට පත් කිරීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කයයි.
අග්රාමාත්ය මෙන්ම අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ගේ ප්රධානත්වයෙන් රාජ්ය අමාත්යාංශ 17කට අධික සංඛ්යාවක පූර්ණ දායකත්වය හා ඒකාබද්ධ මැදිහත්වීමෙන් ක්රියාත්මක වන මෙම ජාතික ප්රදර්ශනය හුදු ප්රදර්ශනයකට පමණක් සීමා නොවී, නවීන තාක්ෂණය, වෘත්තීය අධ්යාපන ක්ෂේත්රයේ නව මානයන් සහ අනාගත රැකියා අවස්ථා සෘජුව දැකබලා අවබෝධ කරගත හැකි සුවිශේෂී මධ්යස්ථානයක් වනු ඇත.
මේ වන විටත් බස්නාහිර පළාතෙන් බැහැර දිස්ත්රික්ක නියෝජනය කරමින් පාසල් දරුවන් 24,000කට අධික පිරිසක් මේ සඳහා ලියාපදිංචි වී අවසන්ය.
තම අනාගතය සාර්ථක කරගනිමින් රටේ ආර්ථික සංවර්ධනයට සක්රීයව දායක වීමට අපේක්ෂා කරන අපගේ දයාබර පාසල් දරු දැරියන්ට, තාරුණ්යයට මෙන්ම දෙමව්පියන්ට ද මෙම ඔක්තෝබර් 23, 24 සහ 25 යන දිනවලදී කොළඹ විහාරමහාදේවී උද්යාන පරිශ්රයට පැමිණ මෙම අනගි අවස්ථාව අත්විඳින ලෙස ඉතා ගෞරවයෙන් හා ආදරයෙන් ආරාධනා කර සිටිමි!
