නිමල් රාජපක්ෂ
සමාලෝචනය තුළින් ලබාදෙන නිර්දේශයන් ද පාදක කර ගනිමින් මෙරට සෞඛ්‍ය සේවා ජාලය තවදුරටත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් බවට පත් කිරීම අපේක්ෂාව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් අද (20) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු වී මෙරට සෞඛ්‍ය පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” (Arogya Health and Wellness Centers) පිටුවීමේ වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳවත් දීර්ඝව සාකච්ඡා කරන ලදි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීමකට අනුව මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණ ඇති අතර, එම විශේෂඥ කණ්ඩායම අද සිට ලබන 24 දින දක්වා දිවයිනේ රැඳී සිටිමින් සිය අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිත මෙම විශේෂඥ කණ්ඩායම සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) මහතා ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවට එක් විය.
මෙහිදී “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” දහසක් (1000) පිහිටුවීමේ නියමු ව්‍යාපෘති සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳවත්, එම නියමු වැඩපිළිවෙලේ සාර්ථකත්වය සහ අභියෝග පිළිබඳවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නියෝජිත පිරිසට කරුණු පෙන්වා දෙන ලදි.
මෙම මධ්‍යස්ථාන පිහිටුවීමේ ප්‍රධාන අරමුණ බෝ නොවන රෝග (NCD) පාලනය කිරීම, රෝග කල්තියා හඳුනා ගැනීම සහ ග්‍රාමීය මට්ටමින් ජනතාවට වඩාත් සමීප, ගුණාත්මක සහ කඩිනම් සෞඛ්‍ය සේවාවක් ලබාදීම බව සාකච්ඡාවේ දී අවධාරණය කළ අමාත්‍යවරයා බෝ නොවන රෝග පරීක්ෂාව, පිළිකා කල්තියා හඳුනා ගැනීම, වැඩිහිටි හා සහන සත්කාර, විශේෂිත සායන, පෝෂණ හා උපදේශන සේවා, රසායනාගාර පරීක්ෂණ එම මධ්‍යස්ථාන මගින් ලබාගත හැකි සේවාවන් බව ද කාර්ය මණ්ඩලය සහ ව්‍යාපෘතියේ ව්‍යාප්තිය පිළිබඳව ද කරුණු අවධාරණය කරන ලදි.
මෙම විශේෂඥ සමාලෝචනය හරහා ලබාදෙන නිර්දේශයන් ද පාදක කර ගනිමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ජාලය තවදුරටත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් බවට පත් කිරීමට රජය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
සීමිත සම්පත් කළමනාකරණය කරගනිමින් උපරිම මහජන සේවාවක් සැලසීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදි විශේෂඥ කණ්ඩාමේ ඇගයීමට ලක් වූ අතර, සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම හරහා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඇති හැකියාව සහ ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදිය හැකි තාක්ෂණික හා මූල්‍යමය සහයෝගීතාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.
මෙම ක්‍රියාවලියේ පළමු අදියර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලයේ උපදේශක මහාචාර්ය ටී. සුන්දරරාමන් මහතාගේ සහභාගීත්වයෙන් 2025 නොවැම්බර් මාසයේදී සාර්ථකව ක්‍රියාත්මක කරන ලද අතර, දෙවන අදියර යටතේ ක්‍රියාත්මක වන මෙම ක්ෂේත්‍ර චාරිකාව මඟින් මෙරට සෞඛ්‍ය පද්ධතියේ එක් එක් අංශ සවිස්තරාත්මක විශ්ලේෂණයකට ලක් කර, සමස්ත පද්ධතියම ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.
