මාලන් විතාන–
2029 වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ ඉලක්කය සහිතව සවිබල ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම, නෙක්ස්ට් ශ්‍රී ලංකා වැඩසටහන හරහා අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට රැකියා පුහුණු පාඨමාලා සඳහා ණය පහසුකම් සැලසීම, ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් මගින් ස්වයං රැකියා සඳහා පුහුණු වැඩසටහන් හා විවිධ උපකරණ ලබාදීම, කුඩා ව්‍යාපාර සඳහා ක්ෂුද්‍ර ණය පහසුකම් ලබාදීම, සුව බොජුන්හල් වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා උදාකර දීම, නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබාදීම සහ පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැනි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.
එසේ ක්‍රියාත්මක වන සවිබලගැන්වීමේ වැඩසටහන් ක්‍රමවත් හා වේගවත් කිරීමේ අරමුණින් “ප්‍රජා සවියට නව බලයක්” වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. ඒ යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන 21,000ක් පමණ වන සේවක මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇත.
එහි මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන පසුගිය 16 වැනිදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සමුළුව අමතමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කළේ, ජනතාව යැපුම් මානසිකත්වයෙන් මුදවාගෙන ස්වාධීන මෙන්ම සමාජීය හා ආර්ථික වශයෙන් ශක්තිමත් පුරවැසියන් බවට පරිවර්තනය කරමින් වර්තමාන පරම්පරාව තුළදීම මෙරට දිළිඳුකම අවසන් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය බවයි. ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වර්තමාන සමාජ, දේශපාලන හා ආර්ථික අවශ්‍යතාවලට මෙන්ම මහජන අභිලාෂයන්ට ගැළපෙන පරිදි පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
