නිමල් රාජපක්ෂ
අධිකරණ ක්ෂේත්රයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය, සහ වගවීම තවදුරටත් වැඩි දියුණු කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ කළමනාකරණ තොරතුරු පද්ධතිය සහ නවීකරණය කරන ලද අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ජනගත කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පස්වරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කළමණාකරණ තොරතුරු පද්ධතිය සැලසුම් කර ඇත්තේ දිවුරුම් කොමසාරිස්වරුන්, හදිසි මරණ පරීක්ෂකවරුන්, සාම විනිසුරුවරුන්, නිල නොවන මහේස්ත්‍රාත්වරුන් සහ දිවුරුම් දුන් භාෂා පරිවර්තකයන් වැනි තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා වෘත්තීය මට්ටමකට පත් කිරීම සඳහා වන අතර, ව්‍යුහාත්මක ක්‍රමවේද සහ දියුණු තේරීම් නිර්ණායක හඳුන්වා දීම හරහා, මෙම පද්ධතිය මගින් පත් කිරීම්වල විනිවිදභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නංවන අතරම, පරිපාලනමය ප්‍රමාදයන් සහ අක්‍රමිකතා ද අවම කරනු ලබයි.
නවීකරණය කරන ලද වෙබ් අඩවිය මගින් ‘පුරවැසි සේවා තොරතුරු ද්වාරයක්’ හඳුන්වා දී ඇති අතර, එමගින් පහසුවෙන් ලබාගත හැකි අත්‍යවශ්‍ය අධිකරණ සේවාවන් රැසක් පිළිබඳව පැහැදිලි සහ පරිශීලක හිතකාමී තොරතුරු මහජනතාවට ලබා දීමට සැලසුම් කර ඇත. නීති ආධාර, සමථකරණය, බේරුම්කරණය, ණය සමථකරණය මෙන්ම වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සේවාවන්ට අදාළ තොරතුරු පහසුවෙන් සොයාගත හැකි අතර, එමගින් සහන ලබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව දැනුවත්භාවය ඉහළ නැංවෙන අතර එම සේවාවන් ලබා ගැනීම ද වඩාත් පහසු කෙරේ.
මෙම කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS), යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ඇතිව, අධිකරණ අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගනිමින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ යුනිසෙෆ් (UNICEF) ශ්‍රී ලංකා ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතියේ’ (JURE) මූලිකත්වයෙන් සිදු කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය, යුරෝපා සංගමයේ මෙරට නියෝජ්‍ය ප්‍රධානී Edoardo Spacca මහතා , එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි මෙරට නියෝජ්‍ය ප්‍රධානී Marina Ten මහත්මිය , අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( ප්‍රතිසංස්කරණ) කිශාන්තී මීගහපොළ මහත්මිය මෙහිදී අදහස් පළ කළ අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
