නිමල් රාජපක්ෂ-
-ජාති, ආගම් භේදයකින් තොරව සැමට කරුණාව දක්වමින්, ආගමික කටයුතුවලට පමණක් සීමා නොවූ අපරිමිත සේවයක් ඉටුකළ අපවත්වී වදාළ අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම සමස්ත ශ්රී ලාංකේය සමාජයටම පියවාගත නොහැකි පාඩුවක් බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළාය.
ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, මහනුවර ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක ස්වාමීන් වහන්සේගේ අවමංගල්ය පූජෝත්සවයට අද (ඔක්තෝබර් 21) සහභාගී වෙමින් අග්රාමාත්යතුමිය මේ බව පැවසුවාය.
අනු නාහිමියන්ගේ අවමංගල්ය පූජෝත්සවය මහනුවර ගැටඹේ ක්රීඩාංගනයේ දී රාජ්ය ගෞරව සහිතව පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්යතුමිය මෙසේද කීය,
දීර්ඝ කාලයක් පුරා සම්බුද්ධ ශාසනයේ උන්නතිය හා ශාසනික විනය ආරක්ෂාව වෙනුවෙන් උන්වහන්සේ අධිෂ්ඨානයෙන් හා ධෛර්යයෙන් කටයුතු කළා. රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරය හොබවමින් නිකායේ අභ්යන්තර සමගිය ශක්තිමත් කිරීම සඳහා උන්වහන්සේ ලබාදුන් නායකත්වය වගේම උන්වහන්සේගේ ශාසනික මෙහෙවර සියලු දෙනාටම ආදර්ශයක්.
ආගමික කටයුතුවලට පමණක් සීමා නොවී ජාති ආගම් භේදයකින් තොරව ජනතාවට පිහිට වූ උන්වහන්සේ, මෙරට පුරාවිද්යාත්මක වටිනාකම් සහිත ස්ථාන ආරක්ෂා කිරීම සඳහා ද පුරෝගාමීව කටයුතු කළා.
සුනාමි ව්යසනය හා කොරෝනා වසංගත සමයේ ජනාධිපති අරමුදලට මූල්යාධාර ලබාදෙමින් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් උන්වහන්සේ කටයුතු කළා වගේම ශාසනික මෙහෙවර මෙන්ම සමාජ මෙහෙවර වෙනුවෙන් ද උන්වහන්සේ සුවිශේෂී මැදිහත්වීමකින් කටයුතු කළ බව පැවසුවාය.
ජාතික හා ආගමික අර්බුද හමුවේ නිවැරදි මඟපෙන්වීම් ලබාදෙමින් සමාජයේ යහපත වෙනුවෙන් පෙනී සිටි උන්වහන්සේගේ අපවත්වීම විශාල අඩුවක් බවත්, අඩ සියවසකට වැඩි කාලයක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවූ උන්වහන්සේගේ පරාර්ථකාමී ගමන් මඟ අනුගමනය කරන ලෙස තරුණ භික්ෂූන් වහන්සේලාගෙන් සහ දරු පරපුරෙන් ඉල්ලා සිටින බවත් අග්රාමාත්යතුමිය වැඩිදුරටත් ප්රකාශ කළාය.
මෙම අවමංගල්ය පූජෝත්සවය සඳහා ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්රමහා පණ්ඩිත අතිපූජ්ය මකුලෑවේ විමල මහනායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ ත්රෛනිකායික අනුනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, මධ්යම පළාත් ආණ්ඩුකාර වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්ය අමාත්යවරුන් වන ගමගෙදර දිසානායක, වෛද්ය හංසක විජේමුණි, වෛද්ය ප්රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සහ මධ්යම පළාත් ප්රධාන ලේකම් අජිත් ප්රේමසිංහ යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් හා දායකකාරකාදීන් විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ.
