Spread the love

නිමල් රාජපක්ෂ

කොත්මලේ, ගැරඬිඇල්ල, රම්බොඩගම ප්‍රදේශයේ 2025.05.11 වන දින සිදුවූ මාරක බස් අනතුරෙන් විපතට පත් මගී ජනතාව මුදා ගැනීමේ මෙහෙයුමට සිය දිවි දෙවැනි කොට නායකත්වය දුන් ප්‍රදේශවාසීන් ඇගයීමත්, පසුගියදා ඇතිවූ ව්‍යසනය හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත් වූ දිවි අහිමි වූ ජනතාව සිහිකිරීමත් මේ වනවිට සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින ජනතාවට සහන සැලසීමත් වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ වැඩ පිළිවෙලක් ඊයේ (.08) දින රම්බොඩගමදී ආරම්භ විය.

ව්‍යසනය කළමනාකරණය කරමින්, රට පුරා සිටින විපතට පත් සමස්ත ජනතාවට සහන ලබාදෙන රජයේ කඩිනම් ජාතික වැඩසටහනට සමගාමීව යමින් ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහනේ ව්‍යාපෘතියක් ලෙස මෙම සහන සැලසීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරිණ.

මෙදින කොත්මලේ රම්බොඩගම ආශ්‍රිතව පිහිටා ඇති සුරක්ෂා මධ්‍යස්ථානයන්හි තාවකාලිකව රැඳවුම්ගතව සිටින ප්‍රජාවගේ මූලික අවශ්‍යතාවයන් සහ යටිතල පහසුකම් යථාවත් කිරීමට ගතයුතු සාධනීය පියවරයන් සම්බන්ධයෙන් සොයා බැලීම ද සිදු කෙරිණ.

විපතට පත් ජන කොටසක් මුදා ගැනීමට ස්වේච්ඡාවෙන්ම මැදිහත් වූ ජනතාව ස්වභාවික විපතක් හේතුවෙන් අසරණභාවයට පත්ව ඇති මොහොතක ඒ සඳහා විශේෂ මැදිහත් වීමක් සිදුකරන ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් නිධාරීන්ගේ අවදානයට ලක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම විශේෂ සහන සැලයීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරින.

පෞද්ගලික අංශයේ මූල්‍ය සහ සේවා දායකත්වයෙන් කෙටි, මධ්‍ය සහ දිගුකාලීන වශයෙන් සැලසුම් සහගතව ක්‍රියාත්මක වී පැවති ජීවන තත්ත්වයට වඩා උසස් ජීවන තත්ත්වයක් එම ජනතාවට ලබාදීම මෙම වැඩපිළිවෙළ මගින් අපේක්ෂා කෙරේ.