Spread the love

නිමල් රාජපක්ෂ

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත මෙන් ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ආරක්ෂිත, සුවහපසු සහ විශ්වාසී ගමනාගමන පහසුකම් සලසා ගැනීම සඳහා පත්ල පහත් බස් රථ සේවාව (Low floor Passenger Service) නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම අද (.21) දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදුකෙරිණ. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

රෝද පුටු භාවිත කරන මගීන්ට සහ දෘෂ්‍යාබාධිත මගීන්ට සේම ගැබිණි මව්වරුන්ට ද ඉතා පහසුවෙන් බස් රථයට ගොඩවිය හැකි ලෙස විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම පත්ල පහත් විශේෂ වර්ගයේ බස් රථ 10 ක් අද දින ප්‍රවාහන සේවාවට එක්කෙරිණ. මගී ආසන 30 කින් සමන්විත මෙම බස් රථවල රෝද පුටුවලින් ගොඩවන මගීන්ට වෙනමම ආසන වෙන් කර ඇත. මාකුඹුර සිට කොළඹ කොටුව දක්වාත් මාකුඹුර සිට කඩවත දක්වාත් මාර්ගයන්හි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර, විශේෂයෙන් කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන මෙම මාර්ග මගින් ආවරණය කෙරේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා

,”මෙම බස් සේවාව ආරම්භ කරනු ලබන අද දවස අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී දිනයක්. අපේ රජය පත්වෙලා මේ වෙනකොට මාස 18 ක් විතර වෙනවා. ඒ කාලය ඇතුලත අපි විවිධ සංවර්ධන කටයුතු, ව්‍යාපෘති ආරම්භ කලා, අවසන් කලා. මේ ආරම්භ කරපු සේවාව අළුත්ම වැඩක් හැටියට හඳුන්වන්න පුළුවන්. මීට කලින් මේ බස් රථ ලංකාවේ මාර්ගවල ධාවනයට එක්කර තිබුණේ නැහැ.

ආබාධිත ප්‍රජාවට ප්‍රමුඛතාවය ලබාදෙන අතරම අනෙක් මගීන්ටත් සුවපහසු, විශ්වාසී ප්‍රවාහන සේවාවක අවශ්‍යතාවය මේ මගින් ඉෂ්ට වෙනවා. පොදු මගී ප්‍රවාහනයේ අපි යන්න ඕනි තැන Metro එක පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම වසර අවසන්වීමට පෙර මෙම වර්ගයේ බස් රථ 122 ක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉදිරියේදී අගනුවරින් බැහැර මහනුවර, මඩකලපුව, මාතර, යාපනය වැනි ප්‍රදේශවලටත් මෙම සේවාව හඳුන්වාදීමට කටයුතු කරනවා.

ප්‍රවාහනය කියන්නේ කර්මාන්තයක්. වගකීමෙන් මේ කර්මාන්තයේ යෙදෙන්න පුළුවන් අය එකතු වී මේ සේවාව තවත් වර්ධනය කරන්න. මේ සදහා කැපවූ, මහන්සි වූ රාජකාරියට එහා වගකීමෙන් උදව් කල සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.’

මගී ජනතාවට කාර්යක්ෂම, පහසු සේවාවක් සැපයීම වෙනුවෙන් ද සේවාව පිළිබද කඩිනම් තොරතුරු පහසුවෙන් ලබාගැනීම හැකි පරිදි නිර්මාණය කල LMT GO යෙදුම (App) හඳුන්වා දීමද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු දේශපාලන අධීකාරියේ නියෝජිතයෝ ද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීහු ද ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීහු සහ ඒ යටතේ පවතින ආයතනවල නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.