නිමල් රාජපක්ෂ
ඉන්දියානු රජයේ ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිමලගම ගම්මානයේ අලුතින් ඉදිකරන ලද ” ජන අරුණගම” ආදර්ශ ගම්මානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.
2018 වර්ෂයේදී ආරම්භ කළ මෙම නිවාස ව්‍යාපෘතිය රට තුළ ඇති වූ විවිධ ආර්ථික, සමාජ හා විවධ අභියෝගයන් හේතුවෙන් ඉදිකිරීම් වරින්වර ඇනහිට තිබූ අතර, වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව එහි ප්‍රගතිය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කඩිනමින් ඉදිකිරීම් අවසන් කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ.
” ජන අරුණගම” ආදර්ශ ගම්මානය නිවාස 24කින් සමන්විත වේ. ඉදිකිරීම් සඳහා ඉන්දීය රජය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මූල්‍ය දායකත්වය සපයා ඇත.
සෑම නිවසක්ම නිදන කාමර දෙකකින්, විසිත්ත කාමරයකින්, මුළුතැන්ගෙයකින් සහ සනීපාරක්ෂක පහසුකම් සහිත නානකාමරයකින් සමන්විත වන අතර, පානීය ජලය, විදුලිය, මාර්ග පද්ධතිය ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සියල්ලෙන්ම සපිරි පරිසරයක සංවර්ධනය කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉන්දීය රජයේ අඛණ්ඩ සහයෝගය යටතේ ක්‍රියාත්මක වන මෙම නිවාස ව්‍යාපෘතිය හුදෙක් නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් නොව, ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වලට ගෞරවාන්විත ජීවිතයක්, සුරක්ෂිත අනාගතයක් සහ නව බලාපොරොත්තුවක් උදාකරදෙන මානුෂීය සංවර්ධන ව්‍යාපෘතියක් බව පැවසීය.
සුරක්ෂිත නිවසක් යනු පවුලක සමාජ, ආර්ථික, අධ්‍යාපනික හා මානසික දියුණුවේ මූලික පදනම වන අතර, එවැනි නිවාස හිමිකර දීම තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය සෑම අංශයකින්ම ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දශක ගණනාවක් පුරා ගොඩනැගී ඇති ශක්තිමත් මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව සිහිපත් කළ අමාත්‍යවරයා, වත්මන් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ධුර කාලය තුළ එම මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වී, ජනතා ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවෙන සංවර්ධන ව්‍යාපෘති රැසක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇති බව සඳහන් කළේය.
විශේෂයෙන්ම නිවාස ක්ෂේත්රයේ ඉන්දීය රජය ලබාදෙන දායකත්වය, නිවාස අවශ්‍යතාවයෙන් පෙළෙන පවුල් සදහා සුරක්ෂිත වාසස්ථානයක් පමණක් නොව, ගෞරවාන්විත ජීවිතයක් ගොඩනඟා ගැනීමේ අවස්ථාව ද උදාකර දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එවැනි ව්‍යාපෘති තුළින් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහයෝගීතාවයේ සාර්ථක ප්‍රතිඵල ද ප්‍රායෝගිකව දැකගත හැකි බව ද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුව ඇතුළු ස්වාභාවික ආපදා අවස්ථාවලදී, ඖෂධ සැපයුම් සම්බන්ධ අභියෝගාත්මක තත්ත්වයන්හිදී මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දුන් විවිධ දුෂ්කර අවස්ථාවන්හිදී ද ඉන්දීය රජය සහ එරට ජනතාව කිසිදු පැකිලීමකින් තොරව ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සැමවිටම විශ්වාසනීය මිත්‍ර රාජ්‍යයක් ලෙස කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ද මෙහිද අදහස් පළකර සිටියේය.
මෙම ආදර්ශ ගම්මාන වැඩසටහන ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා ආදර්ශ ගම්මාන 25ක් ඉදිකිරීමේ වැඩසටහනේ එක් අදියරක්වන අතර, එය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංවර්ධන සහයෝගීතාවයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මේවනවිට එම ආදර්ශ ගම්මාන 25න් 19ක් ජනතා අයිතියට පත්කර ඇති අතර 20වන ආදර්ශ ගම්මානය මෙය වේ.
එම ආදර්ශ ගම්මාන 20 තුළ ඉදිකර ඇති නිවාස ප්‍රමාණය 480 කි.
