Spread the love


නිමල් රාජපක්ෂ

ඉදිරි කෙටි කාලයක් තුළ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ විශාල පරිවර්තනයක් සිදු කිරීමට හැකිවන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (26) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන බැංකුව(RDB) විසින් සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක වෙළඳ ප්‍රදර්ශනයට සහභාගි වෙමිනි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට වසර 40 ක් පිරීම නිමිත්තෙන් මෙම ව්‍යවසායකත්ව වෙළඳ ප්‍රදර්ශනයේ සංවිධානය කර තිබුනු අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් දිවයින පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් පහළොස් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබයි. එම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා තම කර්මාන්ත ශක්තිමත් කරගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 170 ක පිරිසක් මෙම ව්‍යවසායකත්ව ප්‍රදර්ශනය සමඟ එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වු සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා ,
රජය විසින් මෙතෙක් කර්මාන්තකරුවන් මුහුණ දෙමින් සිටි අමුද්‍රව්‍ය, ඉඩම්, තාක්ෂණය, වෙළඳපළ ඇතුළු ගැටළු රැසක් විසඳීමට කටයුතු කර ඇති බවත් ව්‍යවසායකත්ව රටක් බිහිකිරීමේ අරමුණ ඇතිව පාසල් පද්ධතිය තුළට ව්‍යවසායකත්වය ගෙන යාමට කටයුතු රැසක් සිදුකරමින් පවතින බවද පැවසුවේය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී පාසල් විෂය නිර්දේශය තුළට ව්‍යවසායකත්වය ඇතුලත්කර අනාගත දරු පරපුර ව්‍යවසායකින් බවට පත්කිරීමේ මූලික අඩිතාලම මේ වන විට දමා ඇති බව පැවසීය. මෙම තත්වය මත ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ගෝලීය දර්ශක වල ඉහළින් පැවතීමේ හැකියාව ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු ඇතුළු ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නිලධාරීන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, ගැණුම්කරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.