නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා නාවික හමුදාව, දෙසැම්බර් 23 තලෛමන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තලෛමන්නාරමට උතුරු දෙසින් වූ දේශීය ජල තීරය වෙත ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, දේශීය ජල තීරය තුළ තවදුරටත් අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) වෙත, ශ්‍රී ලංකා නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්ෂා කළ අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රාව (01) සමඟ ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු (12) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
