ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 අප්‍රේල් මස 08 දින රාත්‍රී කාලයේ, මන්නාරමට උතුරු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසරයෙන් ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, 2026 අප්‍රේල් මස 08 දින රාත්‍රී කාලයේ, මන්නාරමට උතුරු දෙසින් වු දේශීය ජල තීරය වෙත ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට අනුයුක්ත යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, දේශීය ජල තීරය තුළ තවදුරටත් අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) වෙත, ශ්‍රී ලංකා නාවික හමුදාව නීත්‍යානුකූලව ගොඩවී පරීක්ෂා කළ අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රාව (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු සිදු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
