Spread the love

.නිමල් රාජපක්ෂ-

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්” (Arnab) ඉතා ප්‍රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය කෙරෙහි එම පද්ධතියෙන් ඇති වන බලපෑම ක්‍රමයෙන් අඩු වී ඇත.

බස්නාහිර, සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතෙත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 90 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 80-100 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැක. එමෙන්ම මෙම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (3.0 – 4.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක. එමනිසා එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාවන් ආරක්‍ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:
සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (60-65) දක්වා ඉහළ යා හැක.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යා හැක.

මුහුදේ ස්වභාවය:
පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

.