Spread the love

නිමල් රාජපක්ෂ

මිලියන ගණනාවක් වන ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය සුභසාධනය සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය නිසි ලෙස සොයා බලමින් හා විදේශ රැකියා සඳහා යවනු ලබන රැකියා නියෝජිතායතන නියාමනය කිරිමේ වගකීම රජය සතුබව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කරයි. එබැවින් එම කාර්ය නිසි ලෙස ඉටුකිරිමට රජය සෑම උත්සහයක්ම ගන්නා බව ද ඔහු කියයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අලුතින් බඳවා ගන්නා සේවකයින් 100 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම අද (07) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකෙරුණු අවස්ථාවේ දි ඔහු මෙම අදහස් පළකලේය.

ඔබට විශාල වගකීමක් පැවරෙනවා මිලියන ගණනක් අප රටේ ජනතාවගේ  ජීවිත පිළිබඳව සොයා බැලීමේ වගකීම ඔබට පැවරෙනවා. එය සුළු පටු නොවන ඉතා වගකීමෙන් කළ යුතු බාරදූර කර්තව්‍යක් එය මනාව තේරුම් ගත යුතුය.

ආර්ථික වශයෙන් බංකලොත් රටක් අපි වසර දෙකක් තුළ නැවත දෙපයින් නැගිටවීමට කටයුතු කළ අතර 2025  වසර විශාල වශයෙන් ආදායම් ලැබුවා. එහි ප්‍රධාන ආයෝජනය තමයි විදේශ රැකියා ක්ෂේත්‍රය. ඒ හරහා අපට ඩොලර් බිලියන 7.5 ක ආදායමක් ගිය වසර තුළ ලැබුණා. සංචාරක  ක්ෂේත්‍රය වගේම විදෙස් ගත ශ්‍රමිකයන් මේ සඳහා විශේෂ දායකත්වයක් ලබා දුන්නා.එය අපේ ආර්ථිකයට ලොකු පිටුවහලක් වුණා.

ඒ නිසා ඒ අයගේ ආරක්ෂාව සුභසාධනය සොයා බැලීම නිලධාරින් වන ඔබගේ වගකීමකි. සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ තිබෙන්නේ කාර්යාංශය පිළිබඳ හොඳ නමක් නොවේ. එම වැරදි නාමය වෙනස්කර හොඳ නමක් ඇති කිරීම ඔබගේ වගකීම වෙනවා.

ඔබ අද මෙම පත්වීම ලබන්නේ ඉතා විනිවිදභාවයෙන් යුක්තව යි. දැන්වීම් මගින් දැනුවත් කර සම්මුඛ පරීක්ෂණවලට යොමු කර ඒ සඳහා ලබාගන්නා ලකුණු අනුවයි මෙම පත්වීම් ලබා දුන්නේ. පෙර මේ වගේ සිදුවීම් සිදු නොවන අතර අප ඒ වෙනස සිදු කරමින් පවතිනවා පවතිනවා. අද පත්වීම් ලබන පිරිස 100ක් වන අතර 14 දෙනෙකු කාර්යාංශයේ සේවය කරපු අයයි. ඔවුන්ට උසස් වීම් සඳහා අවස්ථාව ලබා දුන්නා මීට පෙර මෙවැන්නක් මෙවැනි විනිවිද භාවයකින්යුතුව සිදුවී නොමැත.

සමහර ජේෂ්ඨ නිලධාරීන් වෙන්න පුළුවන් ඔබට වැරදි පූර්වාදර්ශ උපදෙස් ලබා දුන්නද ඔබට පිට‍කොන්දක් තිබිය යුතුයි, ඒවාට එරෙහි වන්න හා නිවැරදි දේ පමණක් සිදු කරන්න. පරිණත නිලධාරීන්ගේ හොඳ දේ පමණක් අරගෙන ඔබගේ ජීවිතයට සාර්ථක කරගන්නට එම උපදෙස් එකතු කරගත යුතු වෙනවා.වැරදි පරාජය කරමින් නිවැරදි දේ ජයගැනීම ඔබ සතු අරමුණ වෙනවා

නොයෙකුත් ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරන්නට එන දුර ඈත පෙදෙස් වල ජනතාවට කාරුණිකව කතා කර එම ප්‍රශ්න නිරාකරණය කිරීමට කටයුතු කරන්න ඒ අයට සැර පරුෂ නොවිය යුතුය.

මෙම ආයතනය භාරව සිටි ඇමතිවරයෙක් තුන් ලක්ෂ තිස් දාහක වංචාවක් කිරීම හේතුවෙන් වසර හතක සිර දඩුවම් ලැබුණා  ලැබුණා. දැන් ඒ දඬුවම ලබමින් සිටිනවා සිටිනවා. ඒ කටුක ඉතිහාසය යළි ඇති නොවිය යුතුයි එය ඔබගේ වගකීමයි එයා මැනවින් ඉටු කරයි කියලා මා බලාපොරොත්තු වෙනවා

අපි වංචා දූෂණ පිටු දැකීමසඳහා මෙම ආයතනයේ වෙනම විශේෂ පොලිස් ඒකකයක් ඇතිකළා. එම ඒකකයේත් සමහර නිලධාරීන් වැරදි කරනවා. ඒ අයටත් ඉදිරියේදී අපි දඬුවම් ලබා දෙනවා.

ඔබ සේවය කරන්නේ ප්‍රධාන කාර්යාලයේ වෙන්න පුළුවන් එසේ නොමැති නම් පළාත් බද කාර්යාලවල වෙන්න පුළුවන්  කෙසේ කොතන සේවය කළත් ඒ සඳහා අපගේ බලපෑමක් නෑ ඒ ඒ අංශවලට යොමු කරන්නේ හිතවත් කම් වලට යාළුකම් වලට නොවෙයි සේවා අවශ්‍යතාවයන් පරිදිමයි යනුවෙන් සදහන් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විගමණික ශ්‍රමිකයින්, විදේශ රැකියා අපේක්ෂිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු මහජනතාව වෙත සපයන සේවාවන් තවදුරටත් කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මානව සම්පත් අවශ්‍යතා හඳුනාගනිමින් මෙම බඳවා ගැනීම් සිදුකර තිබේ.

නව සේවකයින් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය මෙන්ම දිවයින පුරා පිහිටි පළාත් හා දිස්ත්‍රික් කාර්යාලවල පවතින සේවා අවශ්‍යතා අනුව අනුයුක්ත කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජ මහත්මිය, අතිරේක ලේකම් (පාලන) ප්‍රසාද් පියසේන මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා, සාමාන්‍යාධිකාරී එස්.එම්.එස්.ඩී. ගුණසිංහ මහතා ඇතුළු කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.