නිමල් රාජපක්ෂ-
මුහම්මද් නබිතුමා ඇතුළු සියලු ආගමික ශාස්තෘන්වහන්සේගේ මඟපෙන්වීම වූ සාමය, මෛත්‍රිය, මනුෂ්‍යත්වය කැටි කරගත් සමාජයක් බිහි කිරීම වෙනුවෙන් වත්මන් රජය කැපවී සිටින බවත්, කවර ආකාරයේ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට යළි රට තුළ ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මීගමුව අල් – හිලාල් මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී අද (26) පස්වරුවේ පැවති 42වෙනි ජාතික මීලාද්–උන් නබි රාජ්‍ය මහෝත්සවය අමතමිනි.
මේ රට දියුණු, යහපත් රාජ්‍යයක් ලෙස ගොඩනැගීමේදී අන් කවර බලයකට වඩා මහජන බලය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙන බවත්, වත්මන් ආණ්ඩුව ජනතාවට අගතියක් වන කිසිදු ආකාරයේ තීන්දුවක් නොගන්නා අතරම ජනතාව වෙනුවෙන් ගන්නා කිසිදු තීන්දුවක් ආපසු හැරවීමට සූදානම් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් අපේක්ෂා කරන්නේ පොදු ජනතාව තුළ නීතිය පිළිබඳ තිබෙන විශ්වාසය තහවුරු කිරීමත්, යුක්තිය පසිඳලීම කාර්යක්ෂම කිරීම බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ගොඩනැගීමේ වැදගත්ම පාදම වන ජාතික සමගිය වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බවත්, ජාත්‍යන්තර ඉදිරියේ ගෞරවයට සහ පිළිගැනීමට පාත්‍ර වූ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව යළි ඔසවා තැබීමට මෙන්ම නබිනායකතුමාගේද ඉගැන්වීම වූ නීතිය ඉදිරියේ සැවොම සමානයි යන්නට පණ පෙවීමට ආණ්ඩුව ගතවූ කාලය තුළ කැපවී කටයුතු කළ බවත් පැවසීය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලිවල වසර ගණනාවක සිට ආගමික කටයුතු සිදු කරමින් තම ජීවිතයේ වැඩි කාලයක් කැපකළ මවුලවිවරුන් ඇතුළු පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේ සමාජයට සිදුකළ සේවාව ඇගයීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
එමෙන්ම ජාතික මීලාද්-උන් නබි සැමරුමට සමගාමීව සංවිධානය කර තිබූ පාසල් තරගවල ජයග්‍රාහී සිසු සිසුවියන්ට ත්‍යාග ප්රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර 2026 ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය සහ මුල්දින කවරය මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්රන්ථයක් සහ ජාතික මීලාද්-උන් නබි සැමරුම 2026 සමරු කලාපයද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
ප්‍රදේශයේ ජනතාවගේ උපහාරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වමින් සමරු තිළිණයක්ද පිළිගැන්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
නබිනායකතුමාගේ ජන්ම දිනය අපේ රටේ පමණක් නොව ලෝකවාසී ඉස්ලාමීය ආගමික බැතිමතුන්ට ඉතාමත් වැදගත් දිනයක්. වසර ගණනාවක් පුරා අපේ රට තුළ උන්වහන්සේගේ ජන්ම දිනය පෙරදැරි කරගෙන මෙම මිලාද් නබි උත්සවය පවත්වනවා. මම හිතන්නේ අද මෙම අවස්ථාවට සහභාගී වී සිටින සියලු ඉස්ලාම් බැතිමතුන්ට ඔවුන් අදහන දහම අනුව උන්වහන්සේගේ ජන්ම දිනය ඉතාමත් වැදගත් වෙනවා.
ලෝකයට පහළ වූ ආගමික ශාස්තෘන්වහන්සේගේ ජන්ම දිනය, උන්වහන්සේ කරන ලද සේවාවන් ඒ වගේම උන්වහන්සේගේ ජීවන චරිත අපි සියලුදෙනාට සාමකාමී සහ මානවවාදී සමාජයක් නිර්මාණය කිරීම උදෙසා ඉවහල් වෙනවා. උන්වහන්සේ විසින් කරන ලද දේශනාවලට මුළුමනින්ම පටහැනිව එනම්, උන්වහන්සේ සාමය දේශනා කරනවිට එම දහමම සාමයට එරෙහිව භාවිතා කරනවා. උන්වහන්සේ කරුණාව දේශනා කරන විට එම දහමම වෛරය වෙනුවෙන් භාවිතා කරනවා. උන්වහන්සේ මනුෂ්‍යත්වය පිළිබඳ දේශනා කරන විට එම දහමම මනුෂ්‍යත්වයට එරෙහිව භාවිතා කරනවා. ඒ නිසා මම හිතනවා ඒ සෑම ශාස්තෘන්වහන්සේ කෙනෙක්ම දේශනා කළ දහමේ විමුක්තියේ හරය යළි මේ සමාජය වෙත කැටුව ඒමේදී අපේ ආගමික නායකයින්ට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා.
නබිනායකතුමන් උන්වහන්සේගේ මුළු දහමම කැටි කොට මනුෂ්‍යත්වය,සාමය, සමානාත්මතාව, ආර්ථිකය ආදී ප්‍රධාන කරුණු 05ක් මුල් කරගනිමින් සමුගැනීමේ දේශනාව සිදු කරනවා. උන්වහන්සේ ඇතුළු අපේ ආගමික ශාස්තෘන්වහන්සේ දුටු එම සමාජය සාමය, මෛත්‍රිය සහ මනුෂ්‍යත්වය කැටි කරගත් සමාජය බිහි කිරීම අපි හැමකෙනාගේම වගකීම ලෙස මම දකිනවා. අපේ රට දිගුකාලීන ජාතිවාදී ගැටුමකින් බැට කෑවා. උතුරේත්, දකුණේත් සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව අපේ තරුණ පරපුර ජාතිවාදී ගැටුම්වලින් මිය ගියා. ඉතාමත් කුරිරු විනාශකාරී මෙම අත්දැකීම් තුළින් අපිට පෙන්වා දෙන්නේ යළි කිසිදු ආකාරයේ ජාතිවාදී ගැටුමක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට ඉඩ නොදිය යුතුය යන්නයි.
වර්තමානයේ ජිවත්වන අපි සියලුදෙනා අඩුවැඩි වශයෙන් එම ජාතිවාදී ගැටුම්වල වින්දිතයන් බවට පත්ව තිබෙනවා. සිදුවීම්, සිදුවීම් ලෙස ගලාගෙන යාමට ඉඩ දෙන්නත් පුළුවන්. සිදුවීම්වලින් අත්දැකීම් එක් කරගෙන එම සිදුවීම් නැවත සිදු නොවීමට අත්දැකීම් ලෙස උකහා ගැනීමටත් පුළුවන්. මම හිතනවා දේශපාලන ව්‍යාපාරයක් ලෙසත්, ආණ්ඩුවක් ලෙසත් අපි එම විනාශකාරී සිදුවීම් අපේ රට තුළ යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අත්දැකීම් බවට පත් කර ගන්නවා. ඒ අනුව කවර හෝ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට යළි මේ රට තුළ ඉඩ නොදෙන බවට මම ඔබට සහතික වෙනවා.
අපේ රටේ පිහිටීම, ජනතාවගේ හැකියාවන්, ශිෂ්ටාචාරය, මහා වටිනා ස්වභාවික සම්පත් සහ ලෝකයේ ඕනෑම දියුණු සමාජයක් සමග උරෙන්උර ගැටී වැඩ කිරීමට හැකි දක්ෂ මානව සම්පතක් අපි සතුව තිබෙනවා. රටක් දියුණු කිරීම සහ ඒ රටේ ජනතාවට වඩා හොඳ රටක් උරුම කර දීම සඳහා අවශ්‍ය වන සාධක විශාල ප්‍රමාණයකින් අපේ රට සමන්විත වී තිබෙනවා. එහෙත් අපිට තවමත් ඒ දියුණු රාජ්‍ය අත්පත් කර ගැනීමට නොහැකි වී තිබෙනවා. එම දියුණු රාජ්‍ය අපේ රට තුළ ගොඩැනගීම සඳහා වැදගත් අත්තිවාරම් කිහිපයක් තිබෙනවා. එම පාදම ශක්තිමත් කර ගන්නේ නැතිව අපිට දියුණු සමාජයක් නිර්මාණය කරන්න බැහැ. දීර්ඝකාලයක් මුළුල්ලේ අපේ රටේ සිදුවු නරක සහ විනාශකාරී දේ විසින් අපේ රටේ පාදම විනාශවී තිබෙනවා. යළි අපේ රට ශක්තිමත් පාදමක් මත පිහිටුවීමේ වගකීම අපි ආණ්ඩුවක් ලෙස භාරගෙන තිබෙනවා.
මෙම ශක්තිමත් අත්තිවාරමේ පාදම වන්නේ කුමක්ද? සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජනතාවගේ සමානාත්මතාව සහ අයිතිය මත පිහිටා ජාතිවාදය ප්‍රතික්ෂේප කරන, ආගමික අන්තවාදය ප්‍රතික්ෂේප කරන ජාතික සමගිය නිර්මාණය කිරීම අපේ රට ගොඩනැගීමේ එක් අත්තිවාරමක්. එය ඉතා වැදගත්. අපි එකිනෙකා ඇණ කොටාගෙන, වෛරයෙන්, ක්‍රෝධයෙන් සැකයෙන් එකිනෙකා දෙස බලා රටක් දියුණු වෙන්නේ නැහැ. රට ගොඩනැගිමේ පාදමේ පළමු කුලුන තමයි ජාතික සමගිය.
ඒ වගේම ලෝකයේ තවදුරටත් අපිට හුදකලා වී ජීවත්වෙන්න බැහැ. ලෝකයේ විවිධ රාජ්‍යයන් සමග එක් එක් ආකාරයේ සබඳතා තිබෙනවා. එසේ නම් ලෝකයේ ගෞරවයට සහ පිළිගැනීමට ලක්වන ප්‍රතිරූපයක් අපේ රට පිළිබඳ ගොඩනැගිය යුතුයි. මම හිතනවා ගතවූ වසර දෙකට ආසන්න කාලය තුළ ලෝකයේ අපිට හිමි ගෞරවය සහ වටිනාකම යළි එක්රැස් කර ගැනීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර පදනම අපි දමා තිබෙනවා. අපි රටක් ලෙස ඉතා අසීරුතම අවස්ථාවලදීත්, ලෝකයේ ගැටුම් උත්සන්න වෙද්දි සහ අපේ රටත් ගැටුමේ යම් අවස්ථාවක් බවට පත්වන විටත්, අපි ඉතාමත් නිර්භීතව තීන්දු ගෙන ජාත්‍යන්තර ඉදිරියේ ඉතා ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.
නබිනායකතුමා පවා දේශනා කොට තිබෙනවා, නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන විය යුතු බවට. එය ඉතා වැදගත්. නීතිය ක්‍රියාත්මක වන්නේ පහළ අයට පමණයි, ඉහළ බලය ධනය තිබෙන අයට නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ කියා අපේ රටේ සමාජ මතයක් තිබුණා. සංස්කෘතිය, ආගම මත නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ කියා මතයක් තිබුණා. ඊට පාදක වූ අත්දැකීම් ජනතාවට තිබුණා. අපි යළි මේ රටේ ජනතාවට ඒත්තු ගන්වමින් තිබෙනවා රට ගොඩනැගීමේදී නීතිය ඉදිරියේ සැවොම සමාන විය යුතුයි කියලා. නීතිය ඉදිරියේ සැවොම සමානයි කියන සහතිකය අපි මේ රටේ ජනතාවට ලබා දී තිබෙනවා.
ඒවගේම අපිට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපේ රටේ ජනතාව තුළ රාජ්‍ය සේවය පිළිබඳ තිබෙන්නේ හොඳ අදහසක් නොවෙයි. ඒ නිසා ජනතාවට වගකියන, කාර්යක්ෂම සේවාවක් ලබා දෙන නූතන රාජ්‍ය සේවාවක් අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් සැලකිය යුතු ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන තිබෙනවා. තව වසරක් වැනි කෙටි කාලයක් තුළ රජය සමග සිදු කරන සියලු වැදගත් ගනුදෙනු නිවසේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉටුකරගත හැකි රාජ්‍ය සේවාවක් අපි ඇති කරනවා. ඒ වගේම රාජ්‍ය සේවය ආකර්ෂණීය වෘත්තීයක් බවට පත් කිරීම වෙනුවෙන් අපි 2025, 2026 වසරවල වැටුප් වර්ධක ලබා දුන්නා. එළැඹෙන ජනවාරී මාසයේදී වැටුප් වර්ධකයක් ලබා දීමට කටයුතු කරමින් තිබෙනවා.
එසේම අපේ සමාජය යහපත් සමාජයක් බවට පත් කළ යුතුයි. අපි හැමකෙනාම බියගන්වන මහා රකුසෙක් අපේ දෑස් ඉදිරිපිට සිටිනවා. ගම් නියම්ගම් කරා පැතිර යමින්, තරුණ ජිවිත විනාශ කරමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ සමග ගොඩනැගුණු අපරාධ රාජ්‍ය විනාශ කිරීමේ වගකීම අපි හමුවේ තිබෙනවා. ආණ්ඩුවක් ලෙස අපි තීරණය කර තිබෙනවා සහතික වශයෙන්ම මත්ද්‍රව්‍ය රකුසාත්, ඒ හා බැඳුණු සන්නද්ධ නීති විරෝධී සංවිධානත් මුලිනුපුටා දමන බවට. වර්තමනයේ ජීවත්වන අපි වෙනුවෙන් පමණක් නොවෙයි අනාගත දරු පරපුර වෙනුවෙන් අපි එය කළ යුතු වෙනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය සහ ඒ හා බැඳුණු අපරාධ රාජ්‍යය අවසන් කිරීමට එක්වන ලෙස නබිනායකතුමාගේ ජන්ම දිනය සමරන මෙම වැදගත් දිනයේදී මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
මේ රට දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේදී සහ යහපත් සමාජයක් ගොඩනැගීමේදී අභියෝග විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපි එම අභියෝග ජයග්‍රහණය කිරීමේදී මහජන බලය කෙරෙහි විශ්වාස තබා තිබෙනවා. මහජන බලය කෙරෙහි මම දැඩි විශ්වාසයකින් කටයුතු කරනවා.
මගේ ආණ්ඩුව ගනු ලබන කිසිදු තීන්දුවක්, කිසිදු පියවරක් මේ රටේ මහජනතාවට අගතියක් වන කුඩා හෝ සිදුවීමක් සිදු නොවන බවට මම වගබලා ගන්නවා. අද නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විශාල අඬහැරයක් ගොඩනැගීමට උත්සාහ කරනවා. එම ව්‍යවස්ථා සංශෝධනය තුළින් මම අපේක්ෂා කරන්නේ අපේ ජනතාවට යුක්තිය පිසඳලීම සඳහා තිබෙන කාර්යය වේගවත් කිරීමයි. ඒ කිසිවකින් මේ රටේ පොදු ජනතාවට අගතියක් නොවන බවට මම සහතික කරනවා. පොදු ජනතාවට නීතිය පිළිබඳ විශ්වාසයත්, යුක්තිය පසිඳලීම කාර්යක්ෂම කිරීමේ අපේක්ෂාවත් මේ තුළ ගැබ්ව තිබෙනවා.
කවුරු, කුමන අන්දමින් කුඩා කුඩා ප්රතිවිරෝධතා දැක්වුවද ජනතාව වෙනුවෙන් ගනු ලබන කිසිදු තීන්දුවක් ආපසු නොහරවන බව මම ඔබට සහතික වෙනවා. ඒවගේම ගනු ලබන මෙම තීන්දුවල යම් අඩුවක් තිබේ නම් එය වෙනස් කිරීමටද අපි කිසිසෙත් පැකිළෙන්නේ නැහැ. අපි සෑමවිටම ජනතාවගේ හඬට සවන් දෙන ආණ්ඩුවක්. ඒ නිසා මම හිතනවා අද නබිනායක තුමාගේ ජන්ම දිනය දවසේදී උන්වහන්සේගේ දේශනාවල හරය කැටිකොට ඉදිරිපත් කරන ලද සමුගැනීමේ දේශනාව, එහි තිබු විමුක්තියේ හරය, සාමය පිළිබඳ අපේක්ෂාව, මනුෂ්‍යත්වය පිළිබඳ බලාපොරොත්තුව, දිළිඳු අය කෙරෙහි වු දැක්ම මේ සියල්ල යථාර්ථයක් බවට පත් කළ හැකි පාලනයක් ඔබ අප එක්ව ගොඩනගා තිබෙනවා. එය ඉදිරියටත් ජනතා බලය මත රඳා පවතින බව ප්‍රකාශ කිරීමට කැමතියි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා
මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය සමරන මෙම අවස්ථාව ඉතා උතුම් අවස්ථාවක් ලෙස සැලකෙනවා. මෙම අවස්ථාවට සමගාමීව රුපියල් මිලියන 10ක වියදමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි 12ක යටිතල පහසුකම් දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය පිළිබඳ ග්රන්ථයක් අද දොරට වඩිනවා. මෙය ඉතා වටිනා කටයුත්තක් වන්නේ අපේ රටේ බහු ආගමික සහ බහු සංස්කෘතික ප්‍රවේශය පිළිබඳව ශාස්ත්‍රීය නිබන්ධන රචනාවීම සහ එය ජනතා පරිහරණයට එක් කිරීම නිසාවෙනි. ඒවගේම සමරු මුද්දර නිකුත් කිරීම, ජාතික මීලාද් තරගාවලිය, උලමාවරුන් සහ මව්ලවිතුමන්ලා ඇගයීම වැනි වැඩසටහන් රැසක් මෙම ප්‍රධාන උත්සවයට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පසුගිය සතිය පුරා ක්‍රියාත්මක වුණා. ඒ නිසා මේ රාජ්‍ය උත්සවය ජාතික ධනය වියදම් කිරීමක් නොවන අතර, ආදරය, දයාව සංහිඳියාව දිනා ගැනීමේ මහා ආයෝජනයක් ලෙස හඳුන්වාදිය හැකියි.
