Spread the love

නිමල් රාජපක්ෂ-

නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ තිස් වැනි (30) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් තිදෙනෙකු (03) සහ නාවිකයන් තිස් දෙනෙකු (30) වෙත ලාංඡන පැළඳවීමේ උත්සවය, අද දින (2026 සැප්තැම්බර් 06) පුත්තලම, ග‍ඟේවාඩිය ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී, එම බළඝණයේ අණදෙන නිලධාරී කපිතාන් රංගනාත් වීරසේකර හා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස්ගේ ආරාධනයෙන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් සිදුකෙරිණි. 

මාස හයක (06) කාල සීමාවක් පැවති ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ තිස් වැනි (30) සුදුසුකම් ලැබීමේ පුහුණු පාඨමාලව තුලදී, කුඩා යාත්‍රා මෙහෙයුම් කටයුතු පිළිබඳව සහ හදිසි හා ස්වභාවික ආපදා තත්වයන්හි දී මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීමේ මෙහෙයුම් සිදුකිරීම සම්බන්ධ මනා ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබා දීම සිදු කෙරිණි.

ඒ අනුව, මෙම ලාංඡන පැළඳවීමේ උත්සවයේදී, පුහුණු කාල සීමාව තුළ සුවිශේෂී  කුසලතා දැක්වූවන් සඳහා විශේෂ සම්මාන පිරිනැමීම, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් සිදු කෙරිණි. එහිදී, දක්ෂතම යාත්‍රා  හසුරවන්නා හා විශිෂ්ඨතම පුහුණුවන්නා ලෙස ලුතිනන් අයිඩීඑල්එස් මධුවාස විසින් සම්මාන හිමිකරගත් අතර, දක්‍ෂතම ජීවිතාරක්‍ෂකයා ලෙස බල නැවි සීකේටී චන්ද්‍රසේකර විසින් සහ හොඳම ශාරීරික යෝග්‍යවත් පුහුණුවන්නාට හිමි සම්මානය, සාමාන්‍ය නැවි ඩීඑම්ඊවී දිසානායක විසින් එහිදී හිමි කර ගන්නා ලදි.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නාවික හමුදා පුද්ගලයින් වෙත ප්‍රථමයෙන් සිය ශුභාශිංසන පිරිනමන ලදි.

එහිදී වැඩිදුර‍ටත් අදහස් දැක්වූ ඔහු, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ විශේෂ පුහුණුව සාර්ථකව නිම කළ නිලධාරීන් සහ නාවිකයින් අභිමානවත් ඉතිහාසයක්, සම්ප්‍රදායක් සහ විශාල වගකීමක් සහිත බළඝණයක සාමාජිකත්වය භාරගන්නා බවත්, “අනන්තයට එහා දිවෙන විජයග්‍රහණය කරා” යන ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ ආදර්ශ පාඨයට අනුව ධෛර්යය, අධිෂ්ඨානය, විනය, වගකීම සහ කණ්ඩායම් හැඟීම නව සාමාජිකයින්ගෙන් අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කරන ලදි.