Spread the love

මාලන් විතාන-

කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථ ඇසළ මහා පෙරහැර මංගල්‍යය –  2026 පැවැත්වීම පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ  (02) පස්වරුවේ පැවැත්විණි .

මෙවර ඇසළ උත්සවය නිමිත්තෙන් 63 වන වරටත් අගෝස්තු මස 02 සිට 07 වනදා දක්වා  ඇසළ මහා පෙරහැර මංගල්‍යය පැවැත්වෙන අතර, එම පෙරහැර මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම පිළිබඳව සහ ඊට අදාළ පෙර සූදානම සම්බන්ධව මෙහිදී සාකච්ඡා විය.

අගෝස්තු මස 07 වන දා රාත්‍රී අවසන් මහා පෙරහැර වාලුකාරාම පාර, ගාලුපාර, කොල්ලුපිටිය මංසන්ධියෙන් ලිබර්ටි වටරවුම ඔස්සේ ආර්. ඒ. ද මෙල් මාවත හරහා  වීථි සංචාරය කර විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතය.

පෙරහැර මංගල්‍යය සාර්ථක කර ගැනිම වෙනුවෙන් අනුග්‍රහය දක්වන සියලුම රාජ්‍ය ආයතන සහ මූල්‍යමය අනුග්‍රහය දක්වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විසින්  ඊට ලබා දෙන දායකත්වය සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

පසුගිය කාලයේ පැවති කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා වාලුකාරාම පෙරහැර මංගල්‍යය පැවැත්වීමට නොහැකි වූ බවත්, මේ වන විට රටේ පවතින යහපත් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර පෙරහැර මංගල්‍යය පැවැත්වීමට තීරණය කළ  බවත්, පෙරහැර සාර්ථකව පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජය දක්වන සහාය සම්බන්ධව ප්‍රශංසාව හිමිවන බවත් වාලුකාරාමය ඇතුළු පංච මහා විහාරස්ථානයන්හි විහාරාධිපති, කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.

කොල්ලුපිටිය වාලුකාරාම ඇතුළු උභය විහාරාධිකාරී, ශාස්ත්‍රපති උඩවෙල කෝලිත හිමි, ඇල්කඩුව නාභිත හිමි, අමුගොඩ සද්ධාලංකාර හිමි, කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය උනාපාන නන්ද විමල හිමි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, කොළඹ සහකාර දිස්ත්‍රික් ලේකම් එන්. එස්. පතිරණ යන මහත්ම මහත්මීහු, රාජ්‍ය ආයතනවල නිලධාරීහු, අනුග්‍රාහක සමාගම්වල නිලධාරීහු, ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.