නිමල් රාජපක්ෂ
කැලණි ගගේ පහත් බිම් ආශ්‍රිතව පිහිටා ඇති කොලොන්නාව ප්‍රදේශයේ නිරන්තරයෙන් ඇතිවන ගංවතුර තත්ත්වය ස්ථිරසාරව පාලනය කිරීම සදහා තෙවසරක සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.
මේ යටතේ ක්‍රියාත්මක කොලොන්නාව වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) නිල වශයෙන් ආරම්භ කෙරිණ.
එහි සමාරම්භය අංගොඩ, මදිනවත්ත, සැලළිහිණි මාවත ඇල කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණ.
නිරන්තරව ගංවතුර අවදානමට ලක්වන කොලොන්නාවේ ජලාපවහන පද්ධති නවීකරණ ව්‍යාපෘතිය මගින් නාගරික ජල ගැලීම් සහ සුළු ගංවතුර තත්ත්වයන් පාලනය කිරීම සිදුකෙරේ. එමෙන්ම පූර්ව අනතුරු ඇගවීම් හා ඉක්මන් ජලය බැසයාම යථාවත් කිරීම තුලින් ගංවතුර හානි අවම කිරීම් ද සිදුවේ.
අද ආරම්භ කල කොලොන්නාව ගංවතුර පාලන ජාතික ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන ඇල මාර්ග 04 ක් කුඩා පාලම් සහ බෝක්කු 50 ක් ජල රැඳවුම් තටාක 07 ක් සහ පොම්පාගාර 02 ක් ප්‍රතිසංස්කරණය කෙරේ. ඒ යටතේ දහම්වෙල ඇල කිලෝමීටර් 3.88 ක් ද පස්සන්න ඇල කිලෝමීටර් 4.88 ක් ද සැලළිහිණි මාවත ඇල කිලෝමීටර් 3.25 ක් ද දඩුතොට ඇල කිලෝමීටර් 0.97 ක් ද ගැඹුරු සහ පුළුල්කර ජල රඳවන ධාරිතාව වැඩිවන ලෙස ප්‍රතිසංස්කරණ සිදු කෙරේ. ඇල මාර්ග පද්ධතිය සංවර්ධනයට සමගාමීව ඒ ආශ්‍රිතව ඇවිදින මංතීරු සහිතව මහජන උද්‍යාන නිර්මාණය කිරීමටද නියමිතය. මෙම ව්‍යාපෘතියට වැයවන මුදල රුපියල් මිලියන 10,700 කි.
2029 වසර අවසන් වීමට පෙර සමස්ත ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කෙරේ.
ප්‍රතිසංස්කරණ කාර්යයන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදුකෙරේ. ඇල වේලි සංරක්ෂණය සහ කසල කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වාර්මාර්ග දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව කටයුතු කරනු ලබයි.
ආගමික ආශිර්වාදය මධ්‍යයේ ව්‍යාපෘතියේ වැඩ ඇරඹීමෙන් පසු පැමිණ සිටි පිරිස අමතා අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා,
කොලොන්නාවේ ජනතාවට අද විශේෂ වූ දවසක්. මුළු ජීවිත කාලයේම නිරත්නර ජල ගැල්මෙන් පීඩා විඳින ජනතාවට ස්ථිරසාර විසඳුමක් ලබාදීමට කටයුතු ආරම්භ කල අවස්ථාවක්. මේ රජය බලයට පැමිණීමටත් පෙර සිටම ඔබ සමග අපි සිටියා. මුලු රටේම ජනතාව සමගත් අප සිටියා. ගංවතුර, සුනාමි, කොරෝනා, නියඟය ආදී මේ සෑම තත්ත්වයන්වලදීම ජනතාව සමග එකට සිටියා. අපේ ව්‍යාපාරය රතු තරුව ලෙස ඕනෑම ආපදාවකදී රට වෙනුවෙන් ඉදිරිපත් වුණා. සමාජ කටයුතු සිදු කලා. රටේ ඇතිවූ සෑම ආපදාවකදීම ජනතාවට සහන දෙන්න ක්‍රියාකල දේශපාලන ව්‍යාපාරයක් අද බලයට පැමිණ තිබෙනවා. ඒ ඔබ පත්කල මහජන ආණ්ඩුව. ඔබේ බදු මුදල් නාස්ති නොකර, ඔබේ සහ ඔබේ දරුවාගේ සංවර්ධනයට ලබාදෙනවා.
අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් අනුකමිටුවක් කැඳවා කොලොන්නාව ගංවතුර උවදුර පාලනයට තිරසර විසඳුමක් ලබාදෙන්න මේ රජය සැලසුම් සකස් කලා. එම කමිටුවේ තීන්දු තීරණවලට අනුව අද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න හැකිවෙලා තියෙනවා. ඊටත් අමතරව එම කමිටුව මගින් තවත් සංවර්ධන අවස්ථාවන් ද පුළුල් කර තිබෙනවා. කොලොන්නාවට පමණක් නොව ගම්පහ දිසාවේ ඇතිවන ගංවතුර අවදානම පාලනයටත් මේ වනවිට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. වැසි ජලයත්, ගංගා පිටාර ජලයත් කළමනාකරණයට විද්යායානුකූල ප්‍රවේශයක සිට කටයුතු කරනවා. ඒ සඳහා තිරසර ව්‍යාපෘති අවශ්‍යයි. විශේෂඥ දැනුම සහිත නිලධාරීන් නව තාක්ෂණය සමග මුසුව විධිමත් සංවර්ධන සැලසුම්වලට යාම අත්‍යවශ්‍ය වෙනවා. මේ වැඩපිලිවෙල තුල නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතනවල පළපුරුදු දක්ෂ නිලධාරීන්ගේ සේවාව ලබාගන්නවා. එමෙන්ම මේ වැඩපිළිවෙල සඳහා මහජන නියෝජිතයින්ගේ සහයද ප්රතිලාභ ලබන පොදු ජනතාවගේ මැදිහත්වීමද අවශ්‍ය වෙනවා. ජන සහභාගීත්ව සංවර්ධනයට සියලුදෙනා අත්වැල් බැදගෙන අප අපේක්ෂා කරන ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්තිය යතාර්ථයක් කර ගැනීමට කටයුතු කිරීමට දායකවන ලෙසත් ඒ සදහා මහජන ක්‍රියාකාරිත්වය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිනවා.
