ජනාධිපතිවරයා අනුරාධපුරයට පැමිණෙන අවස්ථා වලදී නවාතැන් ගන්නා අනුරාධපුර පෙරිමියන්කුලම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට නිවෙසක අත්බෝම්බයක් තිබෙන බවට (01) ලැබුණු හදිසි ඇමතුමකට අනුව කළ විමර්ශනයකදී පුපුරන ද්‍රව්‍යයක් සොයාගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
අත්බෝම්බයක හැඩයට සමානව නූල් පන්දුවක් ලෙස සකසා තිබූ මෙම පුපුරන ද්‍රව්‍ය, සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා හක්කපටස් නමැති පුපුරන ද්‍රව්‍යයක් බවට පසුව අනාවරණය කරගෙන සිද්ධිය සම්බන්ධයෙන් නිවෙසේ සිටි තරුණයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ඉන් දෙදෙනෙකු පිටස්තරයන් බවත් පොලිසිය කියයි.
ඔවුන් යම් අපරාධ ක්‍රියාවකට සම්බන්ධ ද යන්න දැන ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිසිය සඳහන් කරයි.
පොලිසියට හදිසි දුරකථන ඇමතුම ලැබීමත් සමඟ එම ස්ථානයට අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක්ද පැමිණ සිටියහ.
